දරුණු ආර්ථික අර්බුදයකට රට මුහුණ පාලා

  👤  2382 readers have read this article !
By mawbima 2018-09-26

අද මේ රට අත්විඳිමින් සිටින්නේ සිය ආණ්ඩු කාලයේ බිහිවෙමින් පැවැති නිෂ්පාදන ආර්ථිකය පසෙකලා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති අනුව වෙළෙඳ ආර්ථිකයකට එය පරිවර්තනය වීමේ ආනිශංසය බවද ඉන්දියානු රුපියල ලංකාවේ රුපියලටත් වඩා අවප්‍රමාණය වී ඇති බව කියමින් මේ ඇති වී තිබෙන තත්ත්වය ආණ්ඩුව සුළුකොට පෙන්වීමට උත්සාහ ගන්නා බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.

ඔහු එසේ සඳහන් කරන්නේ 'රුපියලේ බිඳවැටීම හා යහපාලන ආණ්ඩුවේ ආර්ථික අවපාලනය,යන හිසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.
මේ වන විට අප රටට ලැබී ඇති දායාද වන්නේ 4% කටක් අඩු වර්ධන වේගයත් බඩු මිල ඉහළ යෑමත්, දේශීයව නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ පවා වැඩි වැඩියෙන් ආනයනය කිරීටත්, දිනෙන් දින බාල්දු වන රුපියලක් පමණක් බවද මහින්ද රාජපක්ෂ මහතා එම නිවේදනයේ සඳහන් කර ඇත.

2015 පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීම සඳහා වත්මන් ආණ්ඩුව කිසිදු වග විභාගයකින් තොරව සිදු කළ වැටුප් වැඩි කිරීම, ඉන්ධන මිල පහත හෙළීම හා ඇතැම් ආනයනික ආහාර ද්‍රව්‍යවල බදු අඩු කිරීම වැනි ක්‍රියාකාරකම් නිසා ආණ්ඩුවේ වියදම් එක්වරම වැඩිවූවා පමණක් නොව ඉන්ධන හා මෝටර් රථ ආනයනයද වැඩි වූ බව මෙම නිවේදනයේ දක්වා ඇත.
එම නිවේදනයේ මෙසේද සඳහන් ය.

"යහපාලන ආණ්ඩුව බලයට පැමිණි දා සිට ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීමේ ප්‍රවණතාවක් පැවතිණි. එය අද වන විට භයානක නාය යෑමක් දක්වා වර්ධනය වී ඇත. 2014 අවසානයේදී රුපියල් 131 ක් වූ ඩොලරයේ මිල අද රුපියල් 170 ඉක්මවා ගොස් දිනපතාම තවදුරටත් අවප්‍රමාණය වෙමින් පවතී. රුපියලේ වටිනාකම මේ ආකාරයට කඩා වැටීමට හේතුව වෙනත් මූල්‍ය ඒකකයන්ට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යෑම යැයි ආණ්ඩුවේ ප්‍රධානීහු කියති. මගේ ආණ්ඩු කාලය තුළ 2007- 2008 වසරවලදී ඇති වූ ලෝක ආර්ථික අර්බුදය හේතුකොටගෙන දකුණු කොරියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, පිලිපීනය, මැලේසියාව ඇතුළු ආසියානු රටවල් ගණනාවක මුදල් ඒකක ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව විශාල වශයෙන් කඩා වැටිණි. එදා ඒ ඇති වූ ලෝක ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් සිදු නොවන බවට වග බලා ගැනීමට අපේ ආණ්ඩුව සමත් විය.

2007-2008 වසරවලදී මුළු ලෝකය පුරාම හමාගිය දරුණු ආර්ථික අර්බුදයක් තිබුණු බවක්වත් බොහෝ ශ්‍රී ලාංකිකයන් දැන සිටියේ නැත. 2007දී රුපියල් 110.62ක් වූ ඇමෙරිකානු ඩොලරය 2009දී ලෝක ආර්ථික අර්බුදය අවසන් වූ පසුත් රු. 114.94ක අගයක පැවතියේය. 2008දී ඇමෙරිකාවේ එෆ්.බී.අයි. ආයතනය ලෝකයේ දරුණු ත්‍රස්තවාදී සංවිධානය හැටියට නම් කරනු ලැබූ කොටි සංවිධනය මගේ ආණ්ඩුව විසින් පරාජය කරනු ලැබුවේ 1930 ගණන්වලින් පසුව ලෝකයේ ඇතිවූ දරුණුම ආර්ථික බිඳවැටීම මධ්‍යයේය.

ආණ්ඩුවේ කාර්යභාරය වන්නේ අර්බුද කළමනාකරණය කිරීම මිස, ඒ ගැන මැසිවිලි නැඟීම නොවේ. 2008දී මුළු ලෝකය පුරාම හමා ගිය ඒ දරුණු ආර්ථික අර්බුදයෙන් බේරී සිටීම අපටද යුහුසුලුව නොයෙක් පියවර ගැනීමට සිදුවිය. ලංකාවේ එක් වාණිජ බැංකුවක් අස්ථාවර බවක් පෙන්නුම් කළ විට, අපි එය වහාම රාජ්‍ය බැංකුවක අධීක්ෂණය යටතට පත්කොට මුළු බැංකු ක්ෂේත්‍රය පුරාම පැතිරීයෑමට ඉඩ තිබූ අර්බුදයක් වළක්වා ගත්තෙමු.


ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු ව්‍යාපාරික ආයතනවලට දිරිගැන්වීම් ලබාදී දේශීය නිෂ්පාදනය උන්දු කරවීම සඳහා ආනයන බදු වැඩි කිරීම වැනි ක්‍රියාකාරකම් තුළින් ඇමෙරිකානු ආර්ථිකය ශක්තිමත් කොට ඇත. දේශීයව නිපදවිය හැකි දේවල්, විශේෂයෙන්ම කිරි නිෂ්පාදන, බඩ ඉරිඟු, සෝයා, සීනි, ලූනු, අර්තාපල්, පලතුරු,

එළවළු, කුකුල් මස් හා ඇතැම් කාර්මික
නිෂ්පාදන මෙරටේම නිපදවා ආනයන අඩු කිරීමේ ප්‍රතිපත්තියක් මගේ ආණ්ඩුවටද තිබුණේය. ඊට වෙනස්ව වත්මන් ආණ්ඩුව අනුගමනය කරන්නේ කෙළවරක් නැති නිදහස් ආනයනික වෙළෙඳ ප්‍රතිපත්තියකි. ආනයන අඩුකොට අපනයන වැඩි කිරීමට කිසිදු උපායමාර්ගයක් ඔවුන්ට නැත. ආණ්ඩුවක කාර්යභාරය වන්නේ ලෝක ප්‍රවණතා අධ්‍යයනය කොට එයට සමගාමීව අපගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර ගැනීම මිස විදේශීය රටක නායකයකු ඔහුගේ ආර්ථිකය ශක්තිමත් කර තිබෙන බවත් ඒ හේතුවෙන් අපේ රුපියලේ අගය බිඳ වැටෙමින් පවතින බවත් කියමින් මැසිවිලි නැඟීම නොවේ.

අපගේ මුදල් ඒකකයේ වටිනාකම පවත්වාගෙන යෑම සඳහා විදේශීය රටවල ආර්ථික උදාසීනත්වය මත ර¼දාපවතින ආණ්ඩුවක් අපට සිටියහොත් මේ රට දරුණු අර්බුදයකට ඇදවැටීම වැළැක්විය නොහැකිය. රුපියලේ බිඳවැටීම නිසා සිදුවන්නේ සියලුම පරිභෝජන භාණ්ඩ හා අමුද්‍රව්‍යවල මිල වැඩිවීම පමණක් නොවන බව අප අවබෝධ කරගත යුතුය. 2015, 2016, 2017 යන වසරවලදී අදට වඩා තරමක් අඩුවෙන් රුපියලේ අගය පහත වැටීම හේතුවෙන් වුවද ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර රුපියල් බිලියන 697කින් වැඩි වී ඇති බව මහ බැංකු වාර්තාවල සඳහන් වේ. විදේශීය ණය ගෙවීම සඳහා රුපියල්වලින් ආදායම් උපයා ඩොලර් මිලදී ගැනීමට ආණ්ඩුවට සිදුවේ. මෙම වසර තුළ සිදුවී ඇති රුපියලේ කඩාවැටීම නිසා විදේශී ණය බර කලින් අවුරුදුවලටත් වඩා දරුණු අන්දමට වැඩිවනු ඇත.

විනිමය අනුපාතයේ සුළු වෙනසකින් වුවද විදෙස් ණය බර විශාල වශයෙන් වැඩිවිය හැකි නිසා මගේ ආණ්ඩුව විදේශීය වාණිජ ණය ගැනීමේදී ඉතාමත්ම පරිස්සම් විය. උදාහරණයක් වශයෙන් මගේ ආණ්ඩුව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කරනු ලැබුවේ අවුරුද්දකට දෙවතාවක් පමණි. එයින් ලබාගන්නා ලද ණය ප්‍රමාණයද අවුරුද්දකට ඩොලර් මිලියන 350ක සාමාන්‍ය අගයක් ඉක්මවූයේ නැත.

ණය ආපසු ගෙවීම ආර්ථිකයට දරාගත නොහැකි බරක් නොවන්නට නම්, විදේශ විනිමය ණය පරිමාව ඉතා පරිස්සමෙන් පාලනය කළ යුතුය. නමුත් වත්මන් ආණ්ඩුව ඉවක් බවක් නොමැතිව විදේශීය වාණිජ ණය ලබාගෙන තිබේ. 2015 ජනවාරියේ සිට අද දක්වා මෙම ආණ්ඩුව ලබාගෙන ඇති මුළු විදේශ විනිමය ණය ප්‍රමාණය ඇ.ඩො. බිලියන 20.7ක් වේ. ඒ 2015 ජනවාරියේ සිට අද දක්වා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීම තුළින් ඩොලර් බිලියන 8.2ක්, 2015, 2017 හා 2018 වන වසරවලදී නිකුත් කරන ලද සවරින් බොන්ඩ් තුළින් ඩොලර් බිලියන 6.1 ක්, 2015 හා 2016 ඉන්දියාව සමඟ ඇතිකරගත් 'කරන්සි ස්වොප්' ණය තුළින් ලබාගත් ඩොලර් බිලියන 2.2ක්, 2016, 2017 හා 2018 යන වසරවලදී ජාත්‍යන්තර බැංකු හරහා ලබාගෙන ඇති 'සින්ඩිකේටඩ් ලෝන්' ඩොලර් බිලියන 2.7ක් හා 2016දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගත් ඩොලර් බිලියන 1.5ක් වශයෙන් වෙන්කොට පෙන්විය හැකිය.

විදෙස් ණය බර නිසා රුපියලේ අගය අවප්‍රමාණය වීමත්, ඒ අවප්‍රමාණය නිසාම අපගේ විදේශීය ණය බර තවත් වැඩිවන
විෂම චක්‍රයකට අප දැන් හසුවී සිටී. රුපියලේ බිඳ වැටීම හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ භාණ්ඩවල මිල අඩුවීමේ වාසියද ලංකාවේ ජනතාවට අහිමිවී තිබේ. මෙම වසර තුළ තුන් වතාවක් ඉන්ධන මිල වැඩිකොට ඇත. අද පෙට්රල් ලීටරයක් රු. 149ක් වන අතර ඩීසල් ලීටරයක් රු. 123ක් වේ. නමුත් බොරතෙල් බැරලයක මිල ඩොලර් 80ටත් අඩුය. මගේ ආණ්ඩුවේ අවසන් අවුරුදු හතර තුළදී වූ බැරලයකට ඩොලර් 109 ක්වූ සාමාන්‍ය බොරතෙල් මිලට වඩා අද බොරතෙල් මිල බෙහෙවින්ම අඩුය. 2008දී අපි බැරලයකට ඩොලර් 97 ගණනේ බොරතෙල් ගෙන්වන විට ලංකාවේ පෙට්රල් ලීටරයක මිල රු. 120 ක්වූ අතර ඩීසල් රුපියල් 70ක් විය.

අද ලෝක වෙළෙඳපොළේ බොරතෙල්වල අඩු මිලත් ලංකාවේ ඉන්ධනවල ඉහළ මිලත් අතර නොගැළපීමට ප්‍රධාන හේතු රුපියලේ අවප්‍රමාණය හා ඉන්ධන මත පනවා ඇති බදුය. ආණ්ඩුව ඔවුන්ගේ ඉන්ධන මිල සූත්‍රය මොනම හේතුවකටවත් ප්‍රසිද්ධ නොකරන්නේ එයින් ආණ්ඩුවේ නොහැකියව මෙන්ම ඉන්ධන මත අය කරන බදු ප්‍රමාණයද හෙළි වන නිසාය.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon