මහ රෑ යාමේ වැලි කියුබ් තුනක් නිවෙසට ඇදගත් ප්‍රා. මන්ත්‍රිවරයකු අවඥාවට ලක්කළ තැපැල්පතක් නිසා ප්‍රාදේශීය සභාව රත්වෙයි

  👤  2302 readers have read this article !
By mawbima 2018-09-26

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

යාං ඔය වැලි නිධියේ සිට වැලි පටවාගෙන අනුරාධපුර දෙසට ධාවනය වෙමින් තිබූ වැලි ලොරියක් මිහින්තලය වේලන්කුලම හන්දිය ප්‍රදේශයේදී පෙරළී අනතුරට ලක්වූ අවස්ථාව ඉල්ලමක් කර ගනිමින් මහ රෑ යාමේ එහි ගිය අනුරාධපුර ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවක මන්ත්‍රිවරයකු වැලි තොගයම නිවෙසට ඇද ගැනීමේ පුවතක් වාර්තා වෙයි.

රිය අනතුරකට ලක්වූ ගවයකු මීට දින හතකට පමණ ඉහතදී මස් කිරීමේ සිද්ධියට සම්බන්ධ වූ මන්ත්‍රිවරයකු මේ වැලි ඇදීමේ සිද්ධියට සම්බන්ධ වී ඇති අතර වැලි කියුබ් තුනක ප්‍රමාණය නිවෙසට ඇදගත් මන්ත්‍රිවරයා අවඥාවට ලක්කරමින් කිසියම් අයකු අදාළ ප්‍රාදේශීය සභාවට තැපැල් පතක් එවීමත් සමඟ ඊයේ (25දා) එම ප්‍රාදේශීය සභාවත් රත්වූ බව වාර්තා විය.

හොරොව්පොතාන යාං ඔය වැලි නිධියේ සිට වැලි ප්‍රවාහනය කළ ටිපර් රථය මීට දින දෙකකට පමණ ඉහතදී වෙලන්කුලම හන්දියට ආසන්නයෙන් පෙරළී ගිය පසු එහි හිමිකරු රුපියල් 38000ක් පමණ වටිනා වැලි කියුබ් තුන ඒ අසලින් ගොඩ ගසා අනතුරට ලක්වූ ටිපර් රථය අලුත්වැඩියා කරගෙන නැවත ඒමට ගරාජයකට ගොස් තිබේ.

ඔහු විසින් "මම මේක ආපහු ගෙනියනකම් පරිස්සම් කරන්න" කියා දැන්වීමක් වැලි ගොඩේ ගසා ගියත් අදාළ මන්ත්‍රිවරයා ඔහුගේ දරුවන්ද එක්කාසු කරගෙන දැන්වීම විසිකර වැලි කියුබ් තුනම නිවෙසට රැගෙන ගොස් ගොඩගසා ගෙන තිබූ බව අසල්වැසියන් පිරිසක් අනාවරණය කළේය.

මොහු රාත්‍රිය පහන් වන තුරුම වැලි තොගය නිවෙසට අදිනා අයුරු අසල්වාසීන් දැක තිබේ. ලොරියේ හිමිකරු නැවත වැලි තොගය රැගෙන යෑමට පැමිණි අවස්ථාවේ අදාළ මන්ත්‍රිවරයා වැලි තොගය නිවෙසට ඇදගත් බව අසල්වැසියන් පිරිසක් ඔහුට පවසා තිබිණි. "මම මෙතන දැන්වීමකුත් ගැහුවා වැලි ටික පරිස්සම් කරන්න කියලා. මගේ ලොරියටත් අලාභයි. ඒ මදිවට වැලි ටිකත් හොරාට ඇදගෙන. අහිංසක මිනිස්සුන්ගේ දේවල් රකින්න ඉන්න මුං වගේ මන්ත්‍රිවරු මේ වගේ වැඩ කරනව නම් මුළු රටම ඉවරයි" යනුවෙන් වැලි තොගයේ හිමිකරු හඬා වැටෙමින් අසල්වැසියන්ට පවසා තිබිණි.

මේ සම්බන්ධයෙන් කිසියම් අයකු අදාළ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට තැපැල් පතක් යොමු කරමින් ලොරිය පෙරළුණු පසුව අයිතිකරු වැලි තොගය පරිස්සම් කරන ලෙස දැන්වීමක් ගසා ගියත් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයකු දැන්වීම ඉවත්කර වැලි තොගය නිවෙසට ඇද ඇති බවට දන්වා තිබේ. මෙම තැපැල්පත පිළිබඳව සභාපතිවරයා මන්ත්‍රිවරයාට සැලකළ අවස්ථාවේ ඔහුට දෙහි කැපූ බව සභා සේවකයන් පිරිසක් අනාවරණය කළහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon