කීත් නොයාර් පැහැරගෙන යෑමේ නඩුව මීළඟ නඩු වාරයට පෙර විමර්ශන නිමා කර නීතිපතිට උධෘත ගොනු කරන ලෙස නියෝග

  👤  2284 readers have read this article !
By mawbima 2018-09-26

ගල්කිස්ස - ජානක ගෝමස්

"ද නේෂන්" පුවත්පතේ සම කතෘ කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වද හිංසා කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අට දෙනා වන මේජර් ප්‍රභාත් දිසානායක බුලත්වත්ත, හේමචන්ද්‍ර පෙරේරා, ප්‍රභාත් වීරරත්න, ලසන්ත විමලවීර, නිශාන්ත ජයසිංහ, නිශාන්ත පෙරේරා, චන්දුබ ජයසිංහ, හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ, හිටපු සේනා විධායක විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර යන මහත්වරු ඊයේ (25දා) ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයේදී පෙනී සිටියහ.

කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහර දීමෙන් පසුව ඔහුගේ හිතවතකු වන නීතිඥ මොහාමඩ් ජබීර් යන අය විසින් කීත් නොයාර් මහතාව රෝහල් ගත කර ඇත. ඒ පිළිබඳව මොහොමඩ් ජබීර් යන අයගෙන් ලබාගත් ප්‍රකාශයක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මඟින් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටද නියමිතව තිබෙන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

වර්තමාන ආරක්‍ෂක ලේකම්වරයාට ඉදිරිපත් කර ඇති ප්‍රශ්නාවලියට පිළිතුරු ලැබී ඇති බව ප්‍රකාශ කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ලබා ගත් ප්‍රකාශයද අධිකරණයට ඉදිරිපත් කළේය.

ලබන නඩු වාරයට කලින් විමර්ශන කටයුතු අවසන් කර නීතිපතිවරයාට උද්ධෘත ගොනු කරන මෙන් ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය නියෝග කළාය.
ලබන දෙසැම්බර් මස 11 වැනි දින නඩුව නැවත කැඳවීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon