බලපත්‍ර නොමැතිව අලි ඇතුන් ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාරිසරික හා සංස්කෘතික අධ්‍යයන මධ්‍යස්ථානයේ ප්‍රතිශෝධන පෙත්සම ඉවතට

  👤  2212 readers have read this article !
By mawbima 2018-09-26

කේ.එස්. උදයකුමාර්

නිසි බලපත්‍ර නොමැතිව අලි ඇතුන් සන්තකයේ තබා ගැනීමේ සිද්ධීන්වලට රහස් පොලිසිය මඟින් ගොනුකර ඇති පැමිණිල්ලකට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා පාරිසරික හා සංස්කෘතික අධ්‍යයන මධ්‍යස්ථානය කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ගෙන ඇති තීරණයට එරෙහිව එම සංවිධානය ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

දැනට අධිකරණ නියෝග මත වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින අලි ඇතුන් තාවකාලික ලෙස බැඳුම්කරයක් මත පෙරහර කටයුතු සඳහා මුදාහැරීම නීති විරෝධී බවට තීන්දු කරන ලෙසත් මෙම කරුණට අදාළව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු කටයුත්තකට මැදිහත් වී කරුණු දැක්වීමට ඉඩදෙන ලෙසත් ඉල්ලමින් පාරිසරික හා සංස්කෘතික අධ්‍යයන මධ්‍යස්ථානය මඟින් කොළඹ මහාධිකරණය හමුවේ මෙම ප්‍රතිශෝධන පෙත්සම ගොනුකර තිබිණි.

මෙම පෙත්සම් විභාගය පැවැති අවස්ථාවේ අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට පෙත්සම්කරුට නීතිමය බලයක් නොමැති බව පෙන්වා දුන්නේය. අලි සම්පත රැකගැනීම සහ ආරක්ෂා කිරීම වෙනුවෙන් රජය පෙනී සිටින බව පෙන්වා දුන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම පෙත්සම ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම පෙත්සම පවත්වාගෙන යෑමට තරම් නීතිමය පදනමක් නොමැති බව තීන්දු කරමින් එය ප්‍රතික්ෂේප කරන බව නියෝග කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon