අයි.සී.සී. මාධ්‍ය හමුවෙන් පසු තරග පාවා දීමේ තවත් කුණු එළියට

  👤  2304 readers have read this article !
By mawbima 2018-09-26

අංජන කලුආරච්චි _

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට...
තරග පාවාදීම් හා ඔට්ටු ඇල්ලීම් වෙනුවෙන්ම ක්‍රිකට් තරගාවලි සංවිධානය වීමත් සමඟ එම දූෂණයන් මර්දනයට, ලොව පුරා පැවැත්වෙන සියලුම පෞද්ගලික විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලි සියල්ල පිළිබඳ දැඩි විමසිල්ලකින් පසුවන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල(අයි.සී.සී) දූෂණ මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාෂල් ප්‍රකාශ කළේය.

ඩුබායි හි පිහිටි අයි.සී.සී. මූලස්ථානයේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ අදහස් දැක්වූ ඇලෙක්ස් මාෂල්ගේ තොරතුරු ඉදිරිපත
කිරීම් මඟින් පෙන්වා දුන්නේ ඔට්ටු ඇල්ලීම් වෙනුවෙන්ම සංවිධානය වූ බවට සැක කෙරෙන පෞද්ගලික ක්‍රිකට් තරගාවලි කිහිපයක් පිළිබඳවම මේ වන විට පරීක්ෂණ පැවැත්වෙන බවයි. ශ්‍රී ලංකාවේ හිටපු විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයන් වන කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන හා මුත්තයියා මුරලිදරන් සහභාගි වූ මාස්ටර්ස් චැම්පියන් ලීග් තරගාවලියද එම චෝදනාවට ලක්ව ඇති අතර 2016 වසරේ ඩුබායි හිදී පැවැති එම තරගාවලිය එම වසරට පමණක් සීමා වී තිබිණි. ඊට අමතරව අජ්මල් ඕල් ස්ටාර්ස් ලීග්, ඇරබියන් ප්‍රිමියර් ලීග්, කැනේඩියන් ප්‍රිමියර් ලීග් ඇතුළුව තවත් තරගාවලි ගණනාවක් ඔට්ටුකරුවන්ගේ භූමිකාව වෙනුවෙන්ම සංවිධානය වූ බව අයි.සී.සී.ය විශ්වාස කරන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් එම මාධ්‍ය හමුවේදි අයි.සී.සී. ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් පවසා සිටියේ ඉදිරියේදී පැවැත්වෙන විස්සයි-20 ක්‍රිකට් ලීග් තරගාවලි වෙනුවෙන් සම්බාධක පැනවීමට නව මාර්ගෝපදේශනයන් සකස් කිරීමට කටයුතු කරමින් සිටින බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රිචඩ්සන් "මෙම තරගාවලි අනුමත කිරීමේ සමස්ත ක්‍රියාදාමයේ නියාමනයන් අපි සමාලෝචනය කරමින් සිටිනවා.

මෙම තරගාවලිවලට බාධා නොවන අයුරින්, නමුත් දූෂණය මැඬ පැවැත්වීම උදෙසා මෙම තරගාවලිවලට සහභාගි වන්නන් කවුරුන්ද හා ඔවුන්ව පාලනය කිරීමේ යාන්ත්‍රණයක් ලෙස අවම ප්‍රමිතීන් හඳුන්වාදීම තමයි අපේ අභිප්‍රාය" යනුවෙන් පැවැසීය.

තවද මේ දිනවල පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ඇෆ්ගනිස්තාන ආරම්භක පිතිකරු මොහොමඩ් ෂෙසාඩ්ව තරග පාවාදීමකට පොලඹවා ගැනීමට දැරූ ප්‍රයත්නයක් පිළිබඳවද මෙහිදී අනාවරණය විය. එළැඹෙන ඇෆ්ගනිස්තාන ප්‍රිමියර් ලීග් තරගාවලියේදී දුර්වල ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කිරීම බුකීකරුවන්ගේ (ඔට්ටු අල්ලන්නන්) යෝජනාව වී තිබූ අතර ෂෙසාඩ් මේ පිළිබඳ අදාළ පාර්ශ්වයන් දැනුවත් කර තිබේ. ෂෙසාඩ්ට අමතරව තරග පාවාදීම්වලට පොලඹවා ගැනීමේ උත්සාහයන්ට ලක්වූ ජාත්‍යන්තර ක්‍රිකට් නායකයන් 5 දෙනකුද දූෂණ මර්දන ඒකකයට පැමිණිලි කර ඇති අතර පාකිස්තාන නායක සෆ්‍රාස් අහමඩ් හා සිම්බාබ්වේ නායක ගේ‍ර්මී ක්‍රීමර්ද ඒ අතර වෙති.

කෙසේ නමුත් ඇලෙක්ස් මාෂල් පවසන පරිදි මේ වන විට අයි.සී.සී. දූෂණ මර්දන ඒකකය මඟින් පරීක්ෂණ 32ක් පවත්වා ඇති අතර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් 8 දෙනකු සහ පරිපාලකයන් 5 දෙනකු තරග පාවාදීමේ සැකකරුවන් බවට පත්ව ඇත. මීට අමතරව මාස කිහිපයකට ඉහතදී අල් ජසීරා පුවත් සේවයෙන් තරග පාවාදීම් පිළිබඳ නිකුත් කරන ලද වාර්තාමය වැඩසටහන පිළිබඳවද අදහස් දැක්වූ ඇලෙක්ස් මාෂල් පැවසුවේ පරීක්ෂණ පැවැත්වීම වෙනුවෙන් එම පුවත් සේවයෙන් තවමත් සංස්කරණය නොකරන ලද වීඩියෝ දර්ශන තම අංශයට ලබාදී නොමැති බවයි.

එම වීඩියෝ දර්ශනවල ඇතුළත් අනීල් මුනවර් යන පුද්ගලයා හැරුණුකොට අනෙක් සියලුම සැකකරුවන් පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ බවත් අනිල් මුනවර් යන පුද්ගලයාගේ නිවැරදි අනන්‍යතාව තහවුරු කරගැනීමට උපකාර කරන ලෙසත් ඇලෙක්ස් මාෂල් වැඩිදුරටත් සඳහන් කළේය. ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතිල්ල භාරව කටයුතු කළ තරංග ඉන්දික, වෘත්තීය මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩක තරිඳු මෙන්ඩිස්, හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් වන ජීවන් මෙන්ඩිස් හා දිල්හාර ලොකුහෙට්ටිගේ එම වාර්තාමය වැඩසටහනට ඇතුළත්ව තිබූ ශ්‍රී ලාංකිකයන් විය.

ඡායාරූපය _
තාරක බස්නායක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon