මැතිව්ස් කණ්ඩායමෙන් ඉවත් කරයි!

  👤  2328 readers have read this article !
By mawbima 2018-09-26

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව හා ප්‍රධාන පුහුණුකරුගේ ඉල්ලීමකට අනුව එක්දින හා විස්සයි-20 ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් පසුගියදා ඉල්ලා අස්වූ ඇන්ජිලෝ මැතිව්ස් තමන්ට සිදුවූ අසාධාරණය පිළිබඳ කරුණු දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමු කරන ලද ලිපියේ ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඔහුව ඉවත් කිරීමට තේරීම් කමිටුව තීරණය කර ඇතැයි වාර්තා වේ.

මැතිව්ස්ගේ ශාරීරික යෝග්‍යතාව නිසි පරිසාධන මට්ටමක නොමැති වීම එළැඹෙන එංගලන්තයට එරෙහිව තරගාවලියේදී කණ්ඩායමෙන් ඔහුව ඉවත් කිරීමට ප්‍රධාන හේතු සාධකය බව තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි පෙරේදා(24දා) මැතිව්ස්ට දන්වා තිබුණද තමන්ගේ ශාරීරික යෝග්‍යතාව සනාථ කිරීම වෙනුවෙන් යෝග්‍යතා පරීක්ෂණයක් ලබාදෙන්නැයි මැතිව්ස් කළ ඉල්ලීම තේරීම් කමිටු සභාපතිවරයා ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

තවද තමන් සාර්ථක ලෙස පසුගිය ශ්‍රී ලංකාවේ පැවැති දකුණු අප්‍රිකාවට එරෙහිව තරගාවලිය නිම කිරීමත් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශාරීරික යෝග්‍යතාව පිළිබඳ ප්‍රශ්නයක් මතු නොවීමත් යන කරුණුද මෙහිදී මැතිව්ස් විසින් ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයාට පෙන්වා දුන් බවද දැනගන්නට ඇත. කෙසේ වෙතත් අවශ්‍ය නම් තමන් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට සහභාගි වන්නට කැමති යැයි මැතිව්ස් විසින් තේරීම් කමිටු සභාපතිවරයාට අභියෝග කළද එම අභියෝගයට සභාපතිවරයාගේ පිළිතුර වී ඇත්තේ "ඒ ගැන සලකා බලන්නම්" යනුවෙනි.

මෙම කරුණු කාරණාවලට අනුව මැතිව්ස්ව නායකත්වයෙන් ඉවත් කිරීම පිළිබඳ ගැටලුවක් නොමැති නමුත් ඔහු කණ්ඩායමෙන් ඉවත් කිරීම කිසිසේත් සාධාරණීකරණය කිරීමට නොහැකි වන්නේ ඉකුත් සති කිහිපයකට ඉහතදී පැවැති දකුණු අප්‍රිකා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ එක්දින තරගාවලියේදී වැඩිම ලකුණු රැස්කරගත් ක්‍රීඩකයාද වන්නේ මැතිව්ස් වූ බැවිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon