පුල්මුඩේ - අසිරිමලේ ඉඩම් වෙනත් ප්‍රදේශවල වැසියන්ට ලබාදීම නවත්වන්න

  👤  708 readers have read this article !
By mawbima 2018-09-26

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

පුල්මුඩේ පිහිටි අසිරිමලේ ඇතුළු පළාත් කීපයක ඉඩම් වෙනත් ප්‍රදේශවල වැසියන්ට ලබාදීම වහාම නතර කරන ලෙස පළාතේ මුස්ලිම් සංවිධාන එකමුතුව ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යවමින් ඉල්ලීමක් කොට තිබේ.

පළාතේ බෞද්ධ භික්‍ෂුන් වහන්සේ නමක් විසින් පුල්මුඩේ අසිරිමලේ හා ඒ අවට සිංහල ජනාවාස ඇති කිරීමේ අරමුණින් කරගෙනයන මෙම වැඩපිළිවෙළ නිසා වසර ගණනාවක් පළාතේ බෞද්ධ හා ඉස්ලාම් ධර්මයන් දෙක අතර පැවැති ආගමික සහජීවනයත් සිංහල හා මුස්ලිම් වශයෙන් පැවැති ජාතික සමඟියට හා සංහිඳියාවට විශාල තර්ජනයක් එල්ල වෙමින් පවතින බව එම ලිපියේ සඳහන් කොට තිබේ.

පුල්මුඩේ මුස්ලිම් සංවිධාන එකමුතුව පවසන්නේ දැනටමත් එම ඉඩම් ලබාදීම සඳහා සුදුසු පුද්ගලයන් ලංකාවේ විවිධ දිසාවලින් තෝරාගෙන ඒ පිරිසට ඉඩම් ලබාදීම පිණිස අක්කර 45ක් පමණ එළිපෙහෙළි කොට ඇති බවයි.

අනාදිමත් කාලයක සිට සහෝදරයන් ලෙස ජීවත් වන පළාතේ සිංහල හෝ මුස්ලිම් හෝ කවරකුට වුවත් ඉඩම් බෙදාදීම සම්බන්ධයෙන් කිසිම විරෝධයක් පළාතේ මුස්ලිම් ජනතාව තුළ නොමැති බව පවසන මුස්ලිම් සංවිධාන එකමුතුව පිටස්තර අයට ඉඩම් ලබාදීම නවතා දෙන මෙන් ඉල්ලීමක් කොට තිබේ.

පුල්මුඩේ වැසියන්ට අයත් ඉඩම්ද පුරාවිද්‍යා හා බෞද්ධ ආගමික ස්ථානවලට අවශ්‍ය බව කියමින් පවරා ගැනීමේ කටයුත්තක් මීට අමතරව සිදුවන බව කියන එකී මුස්ලිම් එකමුතුව පළාතේ ඉඩම් පවරා ගැනීමට පෙර පළාතේ ආගමික නායකයන් හා සෙසු නායකයන් සමඟ සාකච්ඡා කොට තීන්දු තීරණ ගන්නා ක්‍රමයක් ඇති කරන ලෙස හා තවත් යෝජනා කීපයක් ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට යවන ලද ලිපියේ සඳහන් කොට තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon