ලංකාව පිළිබඳ නව ප්‍රතිරූපයක් ජාත්‍යන්තරය තුළ ඇතිවෙලා - ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

  👤  2778 readers have read this article !
By mawbima 2018-10-11

දිගුකාලීන ඉතිහාසයක් ඇති සීෂෙල්ස් - ශ්‍රී ලංකා සබඳතා දෙරටේම සෞභාග්‍ය සහ සමෘද්ධිය උදෙසා ශක්තිමත්ව ඉදිරියට මෙහෙයවීමට කැප වන බව සීෂෙල්ස් ස්ථානාධිපති ඩැනී ෆෝ ප්‍රකාශ කරයි.

සීෂෙල්ස් ජනාධිපතිවරයාගේ විශේෂ ආරාධනය පරිදි සීෂෙල්ස්හි දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් සීෂෙල්ස් ජනාධිපතිවරයා පිරිනමන ලද විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහය සීෂෙල්ස් රාජ්‍ය මන්දිරයේදී පැවැති අතර එහිදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ සීෂෙල්ස් ජනාධිපති ඩැනී ෆෝ මහතා සඳහන් කළේ, සීෂෙල්ස් - ශ්‍රී ලංකා සබඳතාවලට තිස් වසරක් සපිරෙන අවස්ථාවේ සිදු වූ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ සීෂෙල්ස් සංචාරය දෙරට අතර සබඳතාවල නව කඩඉමක් සනිටුහන් කරනු ඇති බවයි.

භූ විශමතාවන් අනුව දෙරට අතර වෙනස්කම් පැවැතියද ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතීන් වෙනුවෙන් දෙරටේම කැපවීම සමාන බව මෙහිදී පෙන්වා දුන් සීෂෙල්ස් ජනාධිපතිවරයා දෙරටට එක්ව දිගු ගමනක් යෑමට පවතින ඉඩකඩ පිළිබඳවද අවධාරණය කළේය.

සෞඛ්‍ය, අධ්‍යාපන, සංචාරක, පරිසර ආරක්ෂණය ඇතුළු අංශ ගණනාවක් තුළ ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් රාජ්‍ය අතර සමීප සබඳතා පවතින අතර, දෙරට අතර නව වෙළෙඳ සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය උදෙසාද විධික්‍රම රැසක් පවතින බව මෙහිදී පෙන්වා දුන් සීෂෙල්ස් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ඉදිරියේදී කැප වී කටයුතු කරන බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් රාජ්‍ය අතර වැඩි ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය වී ඇති අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයට සීෂෙල්ස් රාජ්‍ය තුළ ඉහළ ඉල්ලුමක් පවතින බවත් සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජන සඳහාද වැඩි ඉඩකඩක් පවතින බවත් මෙහිදී සඳහන් කළසීෂෙල්ස් ජනාධිපතිවරයා ඒ සඳහා තමා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට සහ ආයෝජකයන්ට අරයුම් කරන බවද සඳහන් කළේය.

දේශගුණික විපර්යාසවලින් සිදු වන අයහපත් බලපෑම්වලට සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට දූපත් රාජ්‍යයන් ලෙස අද රටවල් දෙකම මුහුණදී සිටින අතර එම අභියෝග ජය ගැනීමේදී එක්ව කටයුතු කිරීමටද මෙහිදී සීෂෙල්ස් ජනාධිපතිවරයා ප්‍රතිඥා දුන්නේය.

එමෙන්ම ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 1800ක් පමණ මේ වන විට සීෂෙල්ස් රාජ්‍යයේ විවිධ ක්ෂේත්‍රවල සේවය කරමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා ඔවුන් එරට ආර්ථික වර්ධනයට ලබාදෙන දායකත්වයද ඇගැයීමට ලක් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ, සියලු රටවල් සමඟ මිත්‍රත්වය ගොඩනඟා ගැනීමට ශ්‍රී ලංකා රජය ගෙනයන නව විදේශ පිළිවෙත තුළ ශ්‍රී ලංකාව පිළිබඳ නව ප්‍රතිරූපයක් සහ ගෞරවයක් අද ජාත්‍යන්තරය තුළ හිමිව ඇති බවයි.

මෙම පසුබිම රටේ ආර්ථික සමෘද්ධිය සහ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට බොහෝ සෙයින් උපකාරීව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සියලු සමීප රාජ්‍යයන් සමඟ පවතින සබඳතා වැඩිදියුණු කරගනිමින් රටේත් ජනතාවගේත් යහපත උදෙසා එමසියලු දෙනාගේ ඉහළ සහයෝගයක් ලබා ගැනීම තම අරමුණ බවද කියා සිටියේය.

අද මිත්‍රත්වයෙන් ඔබ්බට ගිය සහෝදර බැඳීමක් බවට පත්ව ඇති සීෂෙල්ස් - ශ්‍රී ලංකා සබඳතා ඉහළ නංවා ගැනීම තුළින් දෙරටටම සමෘද්ධිය උදාර ගැනීම තම අරමුණ බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවැසීය. මෙම රාත්‍රි භෝජන සංග්‍රහයට එක් වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස සීෂෙල්ස් ජනාධිපතිවරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර, මෙහිදී ශ්‍රී ලංකා - සීෂෙල්ස් ජනාධිපතිවරු ඉතා මිත්‍රශීලී කතාබහකටද එක් වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon