පිදුරංගලදී නිරුවත් ඡායාරූප ගෙන සමාජ ජාලයට මුදාහැරි තිදෙනා නිදහස්

  👤  2751 readers have read this article !
By mawbima 2018-10-11

දඹුල්ල - කේ.කේ. ආරියදාස

පිදුරංගල ගල මත අඩ නිරුවත් ඡායාරූප ගෙන සමාජ ජාලා මාධ්‍ය හරහා මුදාහැරි බවට චෝදනා එල්ලව බන්ධනාගාර ගතව සිටි පාසල් සිසුවා හා තරුණයන් දෙදෙනා අධිකරණය තුළදී වරද පිළිගැනීමත් සමඟ එක් සිසුවකු අවවාද කොට නිදහස් කිරීමටත් අනෙක් තරුණයන් දෙදෙනාට එක් අයකුට රුපියල් 1,500 බැගින් රජයේ මුදල් ගෙවා නිදහස් කරන ලෙසත් දඹුල්ල මහෙස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා ඊයේ (10දා) නියෝග කළේය.

මෙසේ දැඩි ලෙස අවවාද කොට නිදහස් කළේ ගලේවෙල ප්‍රදේශයේ පදිංචි ශාමික දිල්ශාන් අබේවික්‍රම, සපුමල් දීමන්ත සුබසිංහ, එල්.ඒ.ඒ. පියුමාල් යන දහනව හැවිරිදි වියේ පසුවන තිදෙනාය.

පසුගියදා පිදුරංගල ගල මතට නැඟ තම සිරුරේ අඩ නිරුවත් ඡායාරූප ගෙන සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය කිරීමේ චෝදනාව යටතේ සීගිරිය පොලිසිය මඟින් ගලේවෙල ප්‍රදේශයේ තරුණයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව පුරාවිද්‍යා පනත යටතේ මෙම තරුණයන්ට පොලිසිය නඩු පවරා තිබිණි. නඩු වාර දෙකකදී මෙම තරුණයන් බන්ධනාගාර ගත කොට තිබිණි. පසුව 10 දින දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේදී මෙම නඩුව නැවත කැඳවීමේදී මෙම තීරණයට එළඹිණි.

නීතිඥ මහත්වරුන් අධිකරණයේදී කරුණු දක්වමින් කියා සිටියේ මෙම නඩුව පුරාවිද්‍යා පනත යටතේ තවදුරටත් පවත්වාගෙන යා නොහැකි එකක් වුවද එම චෝදනා යටතේ තවදුරටත් නඩුව විභාග වුවහොත් මෙම සිසුවා ඇතුළු තරුණයන් දීර්ඝකාලීනව රක්‍ෂිත බන්ධනාගාර ගත වීමට ඉඩ ඇති නිසා වරද පිළිගන්නා බවය. වරද පිළිගැනීමෙන් අනතුරුව දඹුල්ල මහෙස්ත්‍රාත්වරයා ඉහත දඬුවම නියම කළේය.

තරුණයන් තිදෙනා වෙනුවෙන් නීතිඥ උදුල් ප්‍රේමරත්න සහ නීතිඥ අයි.ජී. මුණසිංහ මහතා ඇතුළු පිරිසක් පෙනී සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon