ශ්‍රී ලංකාවේ පදක්කම් මල්ල තවත් ඉහළ යයි රන් 3, රිදී 4 , ලෝකඩ 3

  👤  2670 readers have read this article !
By mawbima 2018-10-11

ඉන්දුනීසියාවේදී මේ දිනවල පැවැත්වෙන තෙවැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ සිවුවැනි දිනය වූ ඊයේ(10දා) දිනයේදී ද ශ්‍රී ලංකාවට මලල ක්‍රීඩා ඉසව්වලින් රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් හිමි වීම කැපී පෙනිණි. ඒ අනුව ඊ-42/ ඊ-61/ ඊ-63 අංශයේ පිරිමි දුර පැනීම ඉසව්වේ රන් පදක්කම චරිත බුද්ධික ඉන්ද්‍රපාල විසින්ද ඊ-64/ ඊ-44 අංශයේ පිරිමි උස පැනීම ඉසව්වේ ලෝකඩ පදක්කම ලාල් පුෂ්පකුමාර විසින්ද දිනාගන්නා ලදී.

එහිදී පිරිමි දුර පැනීමේ ඉසව්වේදී චරිත බුද්ධික මීටර් 5.37ක දුරක් සටහන් කරමින් රන් පදක්කම හිමිකරගෙන තිබූ අතර රිදී පදක්කම හිමි කරගත් ඉන්දීය ක්‍රීඩක විජේ කුමාර් මීටර් 5.05ක දුරක්ද ලෝකඩ පදක්කම හිමිකරගත් ඉන්දුනීසියා ක්‍රීඩක මුල්යෝනෝ මුල්යෝනෝ මීටර් 4.89ක දුරක්ද සටහන් කර තිබිණි.

තවද උස පැනීම ඉසව්වේදී ලාල් පුෂ්පකුමාර මීටර් 1.76ක දුරක් තරණය කර තිබූ අතර මීටර් 1.95ක දුරක් සටහන් කළ උස්බෙකිස්තාන ක්‍රීඩක ගියාසොව් ටෙමුර්බෙක් එහි රන් පදක්කමද මීටර් 1.89ක දුරක් සටහන් කළ ජපාන ක්‍රීඩක සුසුකි ටෝරු එහි රිදී පදක්කමද හිමි කරගැනීමට සමත් වූහ.

කෙසේ වෙතත් එම පදක්කම් යුගලය සමඟ ශ්‍රී ලංකාවේ පදක්කම් ගණන 10 දක්වා ඉහළ නැංවෙන අතර රන් පදක්කම් 3ක් රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 3ක් හිමිකරගෙන ඇති ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 14 වැනි ස්ථානය දක්වා පෙරමුණට පැමිණ තිබීමද කැපී පෙනේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon