ජාතික විද්වත් සංවිධානයේ බදුල්ල දිස්ත්‍රික් සමුළුව නිවැරැදි දේශපාලන බෙදීමක් අද රටට අවශ්‍යයි

  👤  3018 readers have read this article !
By mawbima 2018-10-12

අපේ රටේ ලාභතම ව්‍යාපාරය අද දේශපාලනය බවට පත් වෙලා තියෙනවා. ගමකට ගියොත් ලොකුම ගේ දේශපාලනඥයාගේ. පාරේ ගියොත් ලොකුම වාහනේ දේශපාලනඥයගේ. රට ගියොත් ලොකුම හෝටලේ ඉන්නේ දේශපාලකයා. ඒකේ වැඩිම බිල තියෙන්නෙත් දේශපාලකයාගේ.

අද දේශපාලනය කියන්නේ හොරකම් කිරීම සඳහා දෙන ලයිසන් එකක් බවට පත්වෙලා. ජනාධිපතිකමත් හොරකමට ලයිසන් එකක්. හැම හොරෙක් පස්සෙම පොලිසිය පන්නනවා. ඒත් මේ හොරා දැක්කාම පොලිසිය සැලියුට් ගහනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පැවැසීය.

බදුල්ල රිවර් සයිඩ් හෝටලයේ පසුගියදා (07දා) පැවැති ජාතික විද්වත් සන්ධානයේ බදුල්ල දිස්ත්‍රික් සමුළුව අමතමින් ඔහු එසේ කීය.

එහිදී මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.

සමස්ත සමාජයම දැවැන්ත අර්බුදයකට ලක්වෙලා තියෙනවා. මේ අර්බුදයේ අයිතිකරුවන් වෙන්නේ අපේ රටේ දේශපාලනඥයෝ. මේ අර්බුදය නිර්මාණය කළේ දේශපාලනඥයෝ. අපි කැමැති වුණත් අකැමැති වුණත් මේ අර්බුදයට විසඳුම් තියෙන්නෙත් දේශපාලනඥයෝ ළඟ. ඒ නිසා අපේ රටේ ජනතාව දේශපාලනමය වශයෙන් තීන්දුවක් ගන්න සන්ධිස්ථානයකට ඇවිත් තියෙනවා.

රනිල් වික්‍රමසිංහ මහත්තයා නියෝජනය කරන කඳවුරට හෝ මහින්ද රාජපක්‍ෂ මහත්තයා නියෝජනය කරන කඳවුරට මේ රට ගොඩනැඟිය හැකියි කියලා අපි කාටවත් විශ්වාසයක් තියන්න බැහැ. මහින්ද මහත්තයා සියලු විධායක බලය සහිතව සියලු පළාත් සභාවල බලය සහිතව අවුරුදු 10ක් මේ රට පාලනය කළා. රට හදනවා නම් හදන්න ඒ කාලය ඇති. එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් යටතේ ආර්ථිකය හො¼දයි කියලා මතයක් හදලා තිබුණා. ඒක බොරුවක්. මේ අවුරුදු තුනහමාරට පෙන්නුම් කළා මෑත කාලයේ අසාර්ථකම පාලනය මේක කියලා. එහෙමනම් අපිට ඔප්පු කරලා පෙන්නලා තියෙනවා මේ කඳවුරු දෙකටම මේ රට ගොඩනඟන්න බැරි බව.

සංවර්ධනය කියන්නේ ගොඩනැඟිලි නෙවෙයි. මෑත කාලයේ පොලිසි, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, කච්චේරි, පළාත් සභා, ප්‍රාදේශීය සභා ලොකු කරලා හැදුවා. සංවර්ධනය කියන්නේ කෝන්ක්‍රීට් වනාන්තර නෙවෙයි.
සංවර්ධනය කියන්නේ ජනතාවගේ ජන ජීවිතය උසස් වෙන්න ඕන. ජනතාවගේ ජන ජීවිතයත් එක්ක සම්බන්ධ නොවුණු සංවර්ධනයේ ඵලය මොකක්ද? ගමේ ජනතාව සම්බන්ධ වෙලා තියෙන ආර්ථික ප්‍රභවය සංවර්ධනය කරන්න ඕන.

අද අධ්‍යාපනය මුළුමනින්ම මුදල් මත තීරණය වෙන තැනට ඇවිත් තියෙනවා. ඒ නිසා අපේ රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් නව ප්‍රතිපත්තියක් අවශ්‍ය වෙලා තියෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධාන කියනවා කරනවා අවුරුදු 20ට වැඩි පුරවැසියන්ගෙන් සියයට 25ක් කුමන හෝ බෝ නොවන රෝගයකින් පෙළෙනවා කියලා. අපි අද ලෙඩ ජාතියක් බවට පත් වෙලා තියෙනවා. ලංකාවේ ජනතාව බාහිර රෝගී අංශයෙන් බෙහෙත් අරගෙන තියෙනවා ලක්‍ෂ 600ක. අපේ ජනගහනය ඉන්නේ ලක්‍ෂ 200යි. එක්කෙනා තුන් හතර වතාවකට වැඩිය බෙහෙත් අරගෙන තියෙනවා. අපේ ජනතාව නිරෝගි කරන්න නම් හොඳ සෞඛ්‍ය ප්‍රතිපත්තියක් හදන්න ඕන.

ලෝකෙ වැඩිම අවධානය යොමු කරන්නේ පොදු ප්‍රවාහන සේවයට. පොදු ප්‍රවාහන සේවය දියුණු නැති නිසා අද අපිට සිද්ධ වෙලා තියෙනවා අපේ ප්‍රවාහන ප්‍රශ්නයට උත්තර හොයන්න. අද අපේ පරිසරයට අතිමහත් විනාශයක් ඇති කරලා තියෙනවා. අපිට හොඳ වර්ෂාපතනයක් හොඳ සූර්යා ලෝකයක් තිබුණා. මේ පාලකයෝ මුළු වාරි පද්ධතියම විනාශ කරලා දැම්මා. වැව්වල පෝෂක කලාප විනාශ කරලා හෝටල් ගැහුවා.

පරාක්‍රම සමුද්‍රය ආසන්නයේ හෝටලය ගැහුවේ මෛත්‍රිගේ මල්ලී. කලාවැව ආසන්නයේ හෝටලය ගැහුවේ බර්ටි දිසානායක. නාච්චියාදූව වැවේ ඉස්මත්තේ හෝටලය ගැහුවේ එස්.එම්. චන්ද්‍රසේන. පුත්තලම පහු වුණාම තියෙන වැවේ හෝටලය ගැහුවේ රංගේ බණ්ඩාර. පාලකයෝ පරිසරයට කරපු හානිය සුළුපටු නැහැ.

දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා රන්බැඳි කාන්තාවකට ආරක්‍ෂාව සහිතව මේ රටේ ගමන් කරන්න පුළුවන් තත්ත්වයක් තිබිලා තියෙනවා. ඒ සමාජයට අද මොකද වෙලා තියෙන්නේ. 2016 වර්ෂයේ වාර්තාවලට අනුව කියනවා අවුරුදු 16ට අඩු දැරිවියන්ගෙන් 1200ක් දූෂණයට ලක් වෙලා තියෙනවා. අපේ රටේ අවුරුද්දකට වාහන අනතුරු 30,000ක් සිද්ධ වෙනවා. 2016 වර්ෂයේ රුපියල් 25,000ට වඩා වැඩි මංකොල්ලකෑම් 4,000කට වඩා වැඩි ප්‍රමාණයක් සිද්ධ වෙලා තියෙනවා. විනයක් නැති ශිෂ්ට භාවයක් නැති සමාජයක් ගොඩනඟලා තියෙනවා.

දැන් දේශපාලනය තීව්‍ර කඳවුරකට බෙදෙමින් එනවා. ඒ නිසා ඒ ව්‍යාජ කඳවුරවලට අහුවෙන්න එපා. අද අපට නිවැරැදි දේශපාලන බෙදීමක් අපට අවශ්‍ය වෙලා තියෙනවා. පසුගියදා මෛත්‍රිපාල මහත්තයාත් මහින්ද රාජපක්‍ෂ මහත්තයාත් බැසිල් රාජපක්‍ෂ මහත්තයාත්, එස්.බී.ගේ ගෙදරදී හමුවෙලා සාකච්ඡාවක් පවත්වලා තියෙනවා. මෛත්‍රිපාල මහත්තයා මෙහෙම ගියොත් ඔහුගේ දේශපාලනය මෙතැනින් අවසන් වෙනවා.

ඒ නිසා ඔහුට පෞද්ගලික වුවමනාවක් තියෙනවා ඔහුගේ දේශපාලනය ස්ථාවර කර ගැනීමට. ඒ ස්ථාවරය සඳහා රාජපක්‍ෂවරු සමඟ එක්විය යුතුයි. රාජපක්‍ෂත් ඔහුගේ සහචර පිරිසත් බලය අහිමි වීමේ වේදනාවෙන් පෙළෙනවා. ඒ වෙනුවෙනුයි ඒ සාකච්ඡා සිදු වෙන්නේ.

මෛත්‍රි - රනිල් එකතු වුණේ රට ගැන හිතලා නෙවෙයි. රනිල්ට තිබුණා ජනාධිපති වෙන්න බැරිකමක්. තිබුණු පෞද්ගලික ප්‍රශ්න බේරා ගැනීම සඳහා මෛත්‍රි - රනිල් එකතු වුණා. නැතිව රට ගැන හිතලා නෙවෙයි. මේ අයට රට පාලනය කරන්න දෙනවාද? අපි රට පාලනය කරන්න සූදානම්. රට හදන්න සූදානම්. මේ රට රකින්න සූදානම්. ඒ වෙනුවෙන් ජනතාවාදී පාලනයක් ගොඩනඟන්න සූදානම්.

පස්සර - කපිල ගුණවර්ධන

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon