ව්‍යවස්ථා සභාව ගැන උණුසුම් කතාබහක්

  👤  2975 readers have read this article !
By mawbima 2018-10-12

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නියෝජිතයන් පත්කිරීම සහ ස්වාධීන කොමිෂන් සභා සම්බන්ධයෙන් මතුවූ කාරණා කිහිපයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ඊයේ (11දා) දින රැස්වූ අවස්ථාවේදී මැතිසබය තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව යෝජනා පිළිබඳ දැනුම්දීම සහ දිනට නියමිත කටයුතු ඉදිරිපත් කිරීමේ අවස්ථාව උදාවිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට තේරී පත්වූ සිවිල් නියෝජිතයන් තිදෙනා වන ආචාර්ය ජයන්ත ධනපාල, අහමඩ් ජාවිඩ් යුසුෆ්, නාගදන් සෙල්වත්කුමාරන්ගේ නම් සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසිනි.

මේ සමඟම ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන නැඟී සිටියේය. "ව්‍යවස්ථා සභාවේ විශ්වාසය කැඩිලා තියෙනවා.

ව්‍යවස්ථා සභාව මඟින් ලබාදුන් නිර්දේශ ස්වාධීන කොමිෂන් සභා මඟින් ක්‍රියාත්මක කරලා තිබෙනවාද? පොලිස්පතිවරයාට සහ ස්වාධීන පොලිස් කොමිසමට ලබාදුන් උපදෙස් අනුව වැඩකටයුතු සිදුවෙලා තිබෙනවාද? 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ව්‍යවස්ථා සභාව පිහිටුවීමට කටයුතු කළේ මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් ඇති කිරීමටද? ව්‍යවස්ථා සභාවේ රීතිවල කටයුතු සිදුවන්නේ කොහොමද කියලා කවුරුවත් දන්නේ නැහැ. ඒ අනුව ව්‍යවස්ථා සභාවේ කටයුතු වැරදි බව පිළිනොගෙන තවදුරටත් ඒවා යටපත් කරන්න ඉඩ ලබාදෙන්න බැහැ." යනුවෙන් දිනේෂ් ගුණවර්ධන දැඩි ස්වරයකින් ප්‍රකාශ කළේය.

මේ අවස්ථාවේදී සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු ආණ්ඩු පක්ෂයේ කිහිපදෙනකු යම් යම් දේවල් ප්‍රකාශ කළ නිසා මැතිසබය තුළ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

"මේ සම්බන්ධයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිතුමා කිසිදු විරෝධයක් පළ කළේ නැහැ." යනුවෙන් ලක්ෂ්මන් කිරිඇල්ල පැවැසීය.

"ඔය කියන්නේ බොරු. ඔබතුමා බොරු කියන්න එපා. මේ කරන්නේ ප්‍රෝඩාවක්." යනුවෙන් දිනේෂ් ගුණවර්ධන දැඩිව ප්‍රකාශ කළේය.
"ඊයේ පැයක් විතර මේ ගැන කතාකරන විට දිනේෂ් ගුණවර්ධන මැතිතුමා කිසිදු විරෝධතාවක් දැක්වූයේ නැහැ. ඇත්තෙන්ම මෙතුමා පාර්ලිමේන්තු සම්ප්‍රදායට විරුද්ධව කටයුතු කරනවා. ඊයේ නිහඬව ඉඳලා අද අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරන්න හදන්නේ.

මං මේ අයට මතක් කරදෙන්න කැමැතියි. මහින්ද රාජපක්ෂ මැතිතුමා 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවම එතුමාට කැමති විදියට විනිශ්චයකාරවරුන් උසස් තනතුරුවලට පත්කිරීමේ අයිතිය දුන්නා. දැන් ඒ අයිතිය ජනාධිපතිතුමාටවත් නැහැ.

අග්‍රවිනිශ්චයකාරතුමා, පොලිස්පති, හමුදාපති, විනිශ්චයකාරවරුන් තමන්ට අවශ්‍ය විදියට පත්කරන්න තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා 18 වැනි සංශෝධනය ගෙනාවේ. ඒ අනුව 18 වැනි සංශෝධනය යටතේ පැය 24න් නීතියක් ගෙනත් තමන්ට ඕන අය පත්කළා.

අපි 19 වැනි සංශෝධනය ගෙනත් ව්‍යවස්ථාදායක සභාව ස්වාධීන කළා. අද ජනාධිපතිතුමා නිර්දේශ කරන නම වුණත් ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ව්‍යවස්ථාදායක සභාවට තිබෙනවා. ඒ පිළිබඳ අපි ආඩම්බර විය යුතුයි.
මහින්ද රාජපක්ෂගේ සපත්තුවලට යටවෙලා හිටපු අය අපි මුදාගත්තා" යනුවෙන් ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේය.

ලක්ෂ්මන් කිරිඇල්ලගේ එම කතාවට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු දැඩි ලෙස විරෝධය පළ කළහ.

සුසිල් ප්‍රේමජයන්ත, බන්දුල ගුණවර්ධන, රංජිත් ද සොයිසා, දයාසිරි ජයසේකර ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු රීති ප්‍රශ්න ඉල්ලමින් කෑගැසූහ.
ආණ්ඩු පක්ෂයේ ජනතා නියෝජිතයෝ කිහිපදෙනෙක්ද රීති ප්‍රශ්න ඉල්ලමින් කෑගැසූහ.

ආචාර්ය විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ව්‍යවස්ථා සභාවේ අඩුපාඩු සාකච්ඡා කර විස¼දාගත යුතු බවයි.

මේ අතරතුර කථානායක කරු ජයසූරිය මූලාසනයට පැමිණි අතර ව්‍යවස්ථා සභාවේ ක්‍රියාවලිය පිළිබඳව කථානායක විසින් කෙටි පැහැදිලි කිරීමක් සිදුකරන ලදී. ඉන් පසුව නැඟී සිටියේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකය.

'මෙතැන කාරණා 2ක් තියෙනවා. ව්‍යවස්ථා සභාවේ ක්‍රියාකාරිත්වය සහ ස්වාධීන කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය. පොලිස්පතිවරයකු පත්කළා. පොලිස්පතිවරයාගේ හැසිරීම් සම්බන්ධයෙන් ගත්විට ව්‍යවස්ථා සභාව ගැන යම් සැකයක් මතුවෙලා තියෙනවා' යනුවෙන් අනුර කුමාර දිසානායක සඳහන් කළේය.

මේ සමඟම වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයා නැඟී සිටිමින් රීති ප්‍රශ්නයක් මතු කරන්නට විය.

'ව්‍යවස්ථා සභාවේ කටයුතු ගැන පාර්ලිමේන්තුවටයි බලය තියෙන්න ඕන. නමුත් පාර්ලිමේන්තුව නියෝජනය කරන අපිට කිසිම බලයක් නැහැ. ව්‍යවස්ථා සභාව ක්‍රියාත්මක වන ආකාරය ගැන අපිව දැනුවත් කරන්න' යනුවෙන් වාසුදේව නානායක්කාර පැවැසුවේය.

'ව්‍යවස්ථා සභාවෙන් පත්කරනු ලබන පත්කිරීම්වල නිර්ණායක කුමක්ද කියලා ක්‍රමවේදයක් සකස් කළ යුතුයි' යනුවෙන් විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා සඳහන් කළේය.
'අන්න ඒක තමයි අපි කිව්වේ. ඔබතුමාට ස්තුතියි' යනුවෙන් දයාසිරි ජයසේකර, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, වාසුදේව නානායක්කාර, බන්දුල ගුණවර්ධන යන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ප්‍රකාශ කරන්නට වූහ.

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සිහශක්ති ආනන්දන් වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කරමින් විපක්ෂ නායක ආර්. සම්පන්දන්ට චෝදනා කළේය.
'මාස 10ක් තිස්සේ මට කතා කරන්න ඉඩ දෙන්නේ නැහැ. මට කතා කිරීමට අවස්ථාවක් ලබාදෙන්න. මීට පෙර අවස්ථා 2ක්ම ලිඛිතව දැනුම් දුන්නත් මට කතා කරන්න අවස්ථාව ලබාදෙන්නේ නැහැ' සිහශක්ති ආනන්දන් තම දුක්ගැනවිල්ල ඉදිරිපත් කළේය.

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් ප්‍රකාශ කළේ පක්ෂයේ ප්‍රතිපත්ති පිළිනොගන්න නිසා මෙම ගැටලුව ඇතිවී තිබෙන බවයි. අවශ්‍ය නම් ස්වාධීන වීමට අවස්ථාවක් තිබෙන බව සුමන්තිරන් පෙන්වා දුන්නේය.

සුමන්තිරන්ගේ කතාවට දිනේෂ් ගුණවර්ධන හා බන්දුල ගුණවර්ධනට යකා නැග්ගේය.

'සිහශක්ති මන්ත්‍රිවරයාට කතා කිරීම සඳහා ඉඩ ලබාදිය යුතුයි. ටී.එන්.ඒ. එකෙන් වෙලාව දෙන්නේ නැත්නම් ඒකාබද්ධ විපක්ෂයෙන් වෙලාව ලබාදෙන්න සූදානම්' දිනේෂ් ගුණවර්ධන පැවැසුවේය.
'අන්න කතා කරනවා. ඒකාබද්ධ විපක්ෂයට තමයි මෙයා සපෝට් කරන්නේ. ඒකාබද්ධ විපක්ෂයට යන්න' සුමන්තිරන් සිහශක්ති ආනන්දන්ට පැවැසුවේය.

වහාම නැඟී සිටි බන්දුල ගුණවර්ධන සුමන්තිරන්ට ‍ෙදාස් පැවැරුවේය.

'තමුන්නාන්සේ පාර්ලිමේන්තුවේ අධිපතිවාදියා වෙන්න හදන්න එපා. මන්ත්‍රිවරුන්ට ඔහොම කතා කරන්න තමුන්නාන්සේට බැහැ. පාර්ලිමේන්තුවේ ඕනෑම මන්ත්‍රිවරයකුට කතා කිරීමට තිබෙන අයිතිය පිළිගෙන තිබෙනවා. පාර්ලිමේන්තු සම්ප්‍රදාය එයයි' බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කෙළේය.

'ඔයා කෑගහන්න එපා. ඔයා වාඩිවෙන්න. ඔයා මේ ප්‍රශ්නය දන්නෙ නැහැ' යනුවෙන් සුමන්තිරන් බන්දුලට පැවැසුවේය.

ඉන් අනතුරුව විනාඩියක් පමණ වේලාවක් දෙදෙනා එකිනෙකාට බැන ගනිමින් උණුසුම් වචන හුවමාරුවක නිරත වූහ.

පොළොන්නරුවේ වැලි රජකු ගැන පාර්ලිමේන්තුවට හෙළිදරව් කළේ එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේනතු මන්ත්‍රි හේෂා විතානගේය.

ඇමැතිවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් හේෂා විතානගේ කියා සිටියේ භූවිද්‍යා හා පතල් කාර්යාංශය ඉහළ දේශපාලන බලපෑම් මත මහා පරිමාණ වැලි ජාවාරම්කාරයන්ට වැලි ගොඩදැමීමේ බලපත්‍ර ලබාදෙන බවයි.
වැලි කූඩයක් 2ක් ගොඩදාන අහිංසක මිනිස්සුන්ට ඊට ඉඩක් නොලැබෙන බවත් පොළොන්නරුවේ වැලි රජ්ජුරුවෝ වැලි ජාවාරම් ජයටම සිදුකරගෙන යන බවත් හේෂා විතානගේ පෙන්වා දුන්නේය.
'කවුද? ඒ වැලි රජ්ජුරුවෝ' යනුවෙන් කෑගසමින් විමසා සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීරය.

ඒකාබද්ධ විපක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.සී. මුතුකුමාරණ රීති ප්‍රශ්නයක් මතු කිරීමට උත්සාහ ගත්තද මුලසුනේ සිටි නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරිගෙන් ඊට ඉඩක් නොලැබුණි. එම නිසා එස්.සී. මුතුකුමාරණට යකා නැග්ගේය.

'මං හැමදාම පාර්ලිමේන්තු එනවා. උදේ ඉ¼දලා හවස් වනතුරු ඉන්නවා. අපිට ප්‍රශ්නයක් අහන්න දෙන්නේ නැහැ. හැබැයි වෙන අයට දෙනවා. අපිට ඉතිං බබා හුටං තමයි' යනුවෙන් එස්.සී. මුතුකුමාරණ පැවැසුවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon