දඹුල්ලේදී වැස්ස දුටු මෝගන්ට ලෝක විනාශය මැවුණාලු

  👤  3137 readers have read this article !
By mawbima 2018-10-12

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව සහභාගිවූ පළමු එක්දින තරගය වර්ෂාව නිසා අතහැරදැමුණු අතර අවසානයේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එංගලන්ත නායක ඉයන් මෝගන් පවසා සිටියේ එම තරගය අතහැරදැමීමට සිදුවීම කනගාටුවට කරුණක් බවත් එම අවස්ථාවේ දඹුල්ලට ඇදහැලුණු වර්ෂාවෙන් තමන්ට ලෝකයේ අවසානය සිහිගැන්වූ බවත්ය.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ එංගලන්ත නායකයා "මෙම තරගය අත්හැර දැමීමට සිදුවීම පිළිබඳව මම ඉතා කනගාටුවට පත්වෙනවා.

එම අවස්ථාවේදී වර්ෂාව පැමිණීමට පෙර මුළු ක්‍රීඩාංගණයම ආවරණය කිරීමට පියවර ගැනීම විනිසුරුවරුන්ගේ මෙන්ම ක්‍රීඩාංගණ සේවකයන්ගේ ඉතා හොඳ තීරණයක් ලෙස මම දකිනවා. කෙසේ වෙතත් එම වර්ෂාව මට ලෝකයේ අවසානය සිහිගැන්වූවා.

ක්‍රීඩාංගණ කාර්ය මණ්ඩලය ඔවුන්ට හැකි උපරිමයෙන් ක්‍රීඩාංගණය ආරක්ෂා කර ගැනීමට පියවර ගත්තත් අවාසනාවත්ත ලෙස වැසි ආවරණ ඉවත් කරන අවස්ථාවේදී ඒවා තුළින් ක්‍රීඩාංගණය තුලට ජලය කාන්දු වී තිබුණා. එම නිසා ස්ථාන තුනක් හෝ හතරක් ඉතාමත් මඩ සහිත වී තිබෙනු දක්නට ලැබුණා" යනුවෙන් පැවැසීය.

තවද නියමිත පන්දුවාර ප්‍රමාණය අඩු කර තරගය පැවැත්වුවද එමඟින් කණ්ඩායම් දෙකෙහිම ක්‍රීඩකයන්ට අනතුරු සිදු වීමේ හැකියාව ද පැවැති බව කී මෝගන් වැඩිදුරටත් අදහස් දක්වමින් "පන්දුවාර 20කට හෝ 30කට සීමා කර තරගය පැවැත්වුවද එවැනි තරගයක ඇති වන දැඩි තරගකාරී බව නිසා කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන්ට අනතුරු වීමේ හැකියාව වැඩියි. මොකද මඩ සහිත ස්ථානවල ලෙස්සනසුලු ස්වභාවයක් නිරීක්ෂණය කිරීමට අපට හැකි වුණා." යනුවෙන් ප්‍රකාශ කළේය.

මේ අතර ශ්‍රී ලංකාව සහ සංචාරක එංගලන්තය අතර තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය හෙට (13දා) දඹුල්ලේදී දිවා තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිත අතර එම තරගයටද වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් එහි අතිරේක දිනය වශයෙන් ඉරිදා දිනය (14දා) වෙන් කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon