අධිකරණයට අපහාස කළැයි වෛද්‍ය සභාවට සිතාසි

  👤  2895 readers have read this article !
By mawbima 2018-10-12

කමල් මහේන්ද්‍ර වීරරත්න

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් 20 දෙනාටම එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නඩු විභාගයක් පවත්වා දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් 'සයිටම්' පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය සිසුවියක වන දිල්මි කසුන්දා සූරියාරච්චි විසින් ඊයේ (11දා) ගොනුකළ පෙත්සමක් විමසුමට ලක්කළ අභියාචනාධිකරණය නොවැම්බර් මස 16 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් එකී වෛද්‍ය සභාවේ සාමාජිකයන් හට සිතාසි නිකුත් කිරීමට නියම කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන හා විනිසුරු අර්ජුන ඔබේසේකර යන ද්විපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම විමසුමට ලක්වූ අතර ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා නීතිඥ සුසන් කල්දේරා, ශානක කුරේ සහ නිරාන් ඇන්කටෙල් යන නීතිඥවරුන් සමඟ පෙත්සම්කාරිය වෙනුවෙන් කරුණු දැක්වීය.

මෙහිදී ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ 2016 ජනවාරි මස 31 වැනි දින අභියාචනාධිකරණය සිය සේවා දායිකාවගේ පෙත්සමක තීන්දුව ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝගයක් කරන ලද බවත් එහෙත් වෛද්‍ය සභාව මේ වනතුරු එකී නියෝගය පිළිපැද නොමැති බවත්ය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, පෙත්සම්කාර සිසුවිය සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධිය සම්පූර්ණ කොට ඇති හෙයින්, ඇය වෛද්‍ය වෘත්තිකයකු ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙසට අභියාචනාධිකරණය සිය තීන්දුවෙන් ප්‍රකාශ කොට තිබියදීත් ඒ අනුව කටයුතු කිරීමට වෛද්‍ය සභාව පියවර නොගැනීම මඟින් අධිකරණයට අපහාස කොට ඇති බවත්ය.

එබැවින් ප්‍රථම අවස්ථාවේදීම අධිකරණයට අපහාසයක් කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකර සිටීමට හේතු ඇත්නම් ඉදිරිපත් කරන ලෙස වගඋත්තරකරුවන්ට ආඥාවක් නිකුත් කරන ලෙසත්, ඊට අමතරව එකී වගඋත්තරකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කරන ලෙසත් පෙත්සම මඟින් ඉල්ලා ඇත.

තවද වෛද්‍ය ආඥා පනතේ 29(2) වගන්තිය ප්‍රකාරව පෙත්සම්කාරිය වෛද්‍ය වෘත්තිකයකු ලෙස ලියාපදිංචි කිරීමට බල කරමින් වගඋත්තරකාර වෛද්‍ය සභාවටත්, එහි සියලුම සාමාජිකයන් හා සෙසු ක්‍රියාකාරිකයන්ටත් බලකෙරෙන 'මැන්ඩාමුස්' රීට් ආඥාවක් නිකුත් කරන ලෙසත්,

එමෙන්ම එසේ නොකර සිටීමෙන් වගඋත්තරකරුවන් වළක්වාලමින් 'ප්‍රොහිබිෂන්' රීට් ආඥාවක්ද නිකුත් කරන ලෙසත් පෙත්සම් මඟින් ඉල්ලා ඇත.
නොවැම්බර් මස 16 වැනි දින පෙත්සම යළි කැඳවීමට නියම විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon