බෞද්ධ දර්ශනය පිළිගන්න කිසිවකුට 20ට විරුද්ධ වෙන්න බෑ

  👤  3154 readers have read this article !
By mawbima 2018-10-16

'සමහරු කියනවා විධායක ජනාධිපතික්‍රමය නැති වුණාම රට අරාජික වෙන්න පුළුවන්ලු. අපේ රටේ 1977ට පෙර විධායක ජනාධිපති කෙනෙක් හිටියේ නැහැ. රට අරාජික වුණාද? හැබැයි දැන් විධායක ජනාධිපති ඉන්නවා. නමුත් දැනුත් රට අරාජිකයි වගේ නෙවෙයිද. ජනාධිපති කරන දේ අගමැති දන්නේ නැහැ. අගමැති කරන දේ ජනාධිපති දන්නේ නැහැ. දෙන්නම කරන දේ ඇමැති මණ්ඩලය දන්නේ නැහැ. දෙන්න එක වෙලාවේ ලංකාවෙත් නැහැ. ඉතිං අරාජිකයි නෙවෙයිද?

ඒ නිසා විධායක ජනාධිපතික්‍රමය නැතිවුණාට රට අරාජික වෙන්නේ නැහැ. ඒ බලය තියෙන්නේ අගමැති ප්‍රමුඛ ඇමැති මණ්ඩලයට සහ අධිකරණයට. පසුගිය කාලයේ අපේ හාමුදුරුවරු කිව්වානේ ලිච්ඡවී පාලනයක් ගැන. අපි කියන්නේ ඒ ක්‍රමය ගේන්නයි මේ විධායක ජනාධිපතික්‍රමය නැති කරලා. අපේ රටේ හාමුදුරුවරු බුදු හාමුදුරුවෝ කියන දර්ශනය පිළිගන්න අය නම් අනිවාර්යයෙන්ම 20ට එකඟ වෙන්න වෙනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවැසීය.

ඒ මහතා මෙසේ පැවැසුවේ පසුගියදා කෑගල්ල තැපැල් ශ්‍රවණාගාරයේ පැවැති සම්මන්ත්‍රණයක දී අදහස් දක්වමිනි. ජාතික විද්වත් සංවිධානයේ කෑගල්ල දිස්ත්‍රික් ශාඛාව මඟින් 'ශිෂ්ටත්වය වෙනුවෙන් සම්මත කළ යුතු 20' මැයෙන් යුතුව සංවිධානය කර තිබූ මෙම සම්මන්ත්‍රණයේදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේද පැවැසීය.

'සමහරු අහනවා මොකද මේ ජවිපෙට තියෙන තදියම කියලා. අපිට කිසිම තදියමක් නැහැ. නමුත් මේක හොඳටම පරක්කු වෙලයි තියෙන්නේ. මේ විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරන්න පළමුවෙන්ම ඉදිරිපත් වුණේ, එකඟ වුණේ චන්ද්‍රිකා කුමාරතුංගයි. එතුමිය අපිට ෆැක්ස් පණිවුඩයකින් පොරොන්දු වුණා. 1994දී 1995 ජූලි මාසේ 15 දිනට පෙර විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරන බවකි. ඒ නිසා මේක අහෝසි කරන්න තිබුණෙ 1995 ජූලි මාසේ 15 වැනිදා. නමුත් ඒක කළේ නැහැ. ඒ නිසා අපිට අවුරුදු ගණනාවක් පාරේ බැහැලා උද්ඝෝෂණය කරන්න වුණා. මේක අහෝසි කරන්න කියලා. ඊට පස්සේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඊළඟ ජනාධිපතිවරණයේ දීත් කිව්වා නමුත් කළේ නැහැ. ඊට පස්සේ 2005දී මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වා මේක අහෝසි කරනවා කියලා. නමුත් එයත් කළේ නැහැ.

පස්සේ 2010දී කිව්වා ඒත් කළේ නැහැ. 2015දී මහින්ද මහත්තයයි පොදු අපේක්ෂකයා වෙච්ච මෛත්‍රිපාල මහත්තයයි දෙන්නම කිව්වා. විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරනවා කියලා. අපිට මතකයි මෛත්‍රිපාල මහත්තයා දිවුරුම් දෙන වෙලාවේ කිව්වේ මම තමයි අවසාන විධායක ජනාධිපති කියලා. නමුත් මෛත්‍රිපාල මහත්තයත් කළේ නැහැ. තාමත් ඔහේ යනවා. ඒ නිසා මේ වැඩේ හොඳටම ප්‍රමාද වෙච්ච එකක්. අපිට ගේන්න සිදු වුණෙත් ඒ නිසා. මේක මේ සමහරු කියන විධියට කාගේවත් කොන්ත්‍රාත් එකක් නෙවෙයි. මේ රටේ ජනතාව වසර ගණනාවක් විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරන්න ඡන්දෙ දීලා තියෙනවා. අපි ඡන්ද ගණනාවක දීම විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරන්න ජනතාවට කරුණු කියලා තියෙනවා. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා. මේ සටන් පාඨය ගෙනාවේ අපි. ඒ නිසා මේ අය කරන්නේ නැත්නම් ඒකට බල කරන්න.

හිටපු ජනාධිපතිවරු මේ විධායක ජනාධිපති බලය පාවිච්චි කරලා මොනවද කෙළේ. රට බේරාගත්තාද මහජනතාවට බලපාන සහන දුන්නාද නැහැ. හිටපු ජනාධිපතිවරු මේ බලය පාවිච්චි කරලා කෙළේ රටට හානි කර ගිවිසුම් ගහන එක. ඒ විතරක් නෙවේ. මහජනතාවගෙන් හොරකම් කරලා තියෙනවා. අධිකරණයට බලපෑම් කරලා තියෙනවා. ආණ්ඩු පෙරළලා තියෙනවා. පක්ෂ තහනම් කරලා තියෙනවා. ඔන්න ඔය වගේ දේවල් තමයි කරලා තියෙන්නේ. ඒ නිසා මේක වෙනස් කරන්න ඕනෑ. ඇත්තටම සමහරු විරුද්ධ වෙන්නේ ඇයි මේකට. අපේ රටේ ඉන්නවා දේශපාලනයෙන් නන්නත්තාර වෙච්ච කොටසක්. තමන්ට කියලා ප්‍රබල පක්ෂයක් නැහැ.

තනියෙන් දේශපාලනය කරන්න බැහැ. පයින් දෙපයින් ඉන්න බැහැ. ඒගොල්ල පිළිල වගේ. ඒවාට තනියම පැළවෙන්න බැහැ. කොහේ හරි තියෙන විශාල ගහක පැළවෙලා ඒවාගේ සාරය උරාගෙන ජීවත් වෙනවා. හැබැයි එයාලට සැප පහසුකම් ඕනෑ, වරදාන ඕනෑ. ඒ නිසා කවුරු හරි පක්ෂයක් බලයට ගෙනැල්ලා ඒකට සංතෝසම් හැටියට වරප්‍රසාද වරදාන ගොඩක් බුක්ති විඳගෙන අවුරුදු පහක් හයක් ඉන්න ඒගොල්ල කැමැතියි. එයාලට ජනතාව අදාළම නැහැ. එයාලට වුවමනාව තියෙනවා ආයේ රජෙක් හදාගන්න.

19 වැනි සංශෝධනය අනුව මහින්ද මහත්තයාට ආයේ ජනාධිපතිවරණයට ඉල්ලන්න කොහෙත්ම බැහැ. ඒ නිසා සමහරු හිතාගෙන ඉන්නවා මහින්ද රාජපක්ෂ මහත්තයා නැතිව ඒ පවුලේ වෙන කෙනෙක් පස්සේ එල්ලිලා තමන්ගේ අරමුණුවලට යන්න. ඒකට ජනාධිපතික්‍රමය තියෙන්න ඕනෑ.

ඒ නිසා තමන්ගේ කෙනෙක්ව නම් කරගෙන තමන්ගේ වරප්‍රසාද දිනාගන්න යන ගමනකයි මේ 20ට විරුද්ධ වන්නේ.

අපි සහතික කරලා කියනවා ජනමත විචාරණයක් තිබුණොත් අපේ රටේ ජනතාව අනිවාර්යයෙන්ම 20 සම්මත කරනවාමයි. අපි දැනගෙන හිටියා මෙය ජනමත විචාරණයකින් සම්මත විය යුතු බව. ඒ නිසා අපි කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න මහත්තුරුන්ට මේක පාර්ලිමේන්තුවෙන් ඉවරයක් නොකර එවන්න ජනතාවගේ කැමැත්ත ගන්න.

දෙවණගල - ජනනාත් වික්‍රමසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon