රුපියල් බිලියනයක් මුදා හරින්නැයි පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම කළ ඉල්ලීම අධිකරණයෙන් ඉවතට

  👤  3017 readers have read this article !
By mawbima 2018-10-16

අමිල අබේරත්න

බැඳුම්කර නිකුතුවක් සඳහා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ තත්කාලීන දළ පියවුම් පද්ධතියේ (අර්ථීට්ඉ ගිණුම) තැන්පත් කර තිබූ බිලියන 1ක මුදලක් නැවත මුදා හරින ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසට එම සමාගම අධිකරණයෙන් කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ප්‍රතික්ෂේප කළාය. අදාළ මුදල ප්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවලට සම්බන්ධ නැති බවට කරුණු ඉදිරිපත් කරමින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම අදාළ ඉල්ලීම අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

ඒ සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරිය ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධ්‍යක්ෂවරයාගෙන් වාර්තාවක් කැඳවා තිබූ අතර අධ්‍යක්ෂවරයා වාර්තාව මඟින් ඉදිරිපත් කර තිබුණේ අදාළ මුදල බිලියන 1ක මුදලක් නොව මිලියන 855යි 7,68,058ක මුදලක් වන බවය.

මහ බැංකුව විසින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ බැඳුම්කර ගනුදෙනු අත්හිටුවා ඇත්තේ සීමිත කාලයකට වන බවද අදාළ සමාගම මහ බැංකුව විසින් සම්පූර්ණයෙන් අවලංගු කර නොමැති බවද මහෙස්ත්‍රාත්වරිය දන්වා සිටි අතර අදාළ වත්කම් විකිණීම, ඉවත් කිරීම මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධ්‍යක්ෂවරයාගේ අවසරය මත සිදු කළ යුතු බවය.

අදාළ මුදල තැන්පත් කර තැබීම තුළින් තත්කාලීන පියවුම් පද්ධතියට පාඩුවක් සිදුනොවන බවද අදාළ තැන්පත් මුදල සඳහා අඛණ්ඩව පොලියක් එකතු වන බවද මහෙස්ත්‍රාත්වරිය දන්වා සිටි අතර පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම එදිනෙදා මෙහෙයුම් කටයුතු සඳහා පාවිච්චි කිරීමට තත්කාලීන දළ පියවුම් පද්ධතියේ ඇති මුදල් මුදාහරින ලෙසට ඉල්ලීම සිදු කරන බව හැඟී යන බවද මහෙස්ත්‍රාත්වරිය දන්වා සිටියාය.
සියලු කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම අධිකරණයට ඉදිරිපත් කර තිබූ ඉල්ලීම එලෙස ප්‍රතික්ෂේප කළාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon