රුපියල් කෝටියක දේපළ සොරාගෙන ගිය බවට පුතකු තම මවට එරෙහිව ගොනු කළ නඩුව ‍ෙදාළොස් දරු මවට ශරීර ඇප

  👤  3148 readers have read this article !
By mawbima 2018-10-16

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

අයුතු ලෙස නිවෙසකට ඇතුළු වී රන් ආභරණ, මුදල්, වී මිටි තොගයක් ඇතුළුව නිවෙසේ තිබූ රුපියල් කෝටි එකහමාරක පමණ වටිනා දේපළ රැසක් මව ඇතුළු සහෝදරයන් 9 දෙනකු එක්වී සොරාගෙන ඇති බවට රාජ්‍ය සේවයේ නියුතු පුත්‍රයකු විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව කඩිනමින් පොලිස් අත්අඩංගුවට ගත් ‍ෙදාළොස් දරු මවක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්‍ෂයක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරතුංග මහතා නියෝග කළේය.

මෙසේ ඇප මත මුදාහැරුණේ හුරුළු නිකවැව පදිංචි 73 හැවිරිදි කාන්තාවකි. සැකකාර ‍ෙදාළොස් දරු මව ගලෙන්බිඳුණුවැව පොලිස් වසමේ පදිංචිව සිටියත් ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයට කළ පැමිණිල්ලට පොලිස් නිලධාරීන් ක්‍රියාත්මක නොවූ බව කියමින් පැමිණිලිකරු උසස් පොලිස් නිලධාරීන්ට කළ පැමිණිල්ලකට අනුව හොරොව්පොතාන කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරිවරයා විසින් පරීක්‍ෂණයක් සිදුකර ඇයව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කහටගස්දිගිලිය පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමකට ලබාදී තිබූ නියෝග මත අත්අඩංගුවට ගැනීම සිදුකර තිබිණි.

වයෝවෘද්ධ සැකකාරිය පසුගිය 9දා සවස නඩු අංක බී 3822/18 යටතේ අධිකරණයට ඉදිරිපත් කළ කහටගස්දිගිලිය පොලිසිය අධිකරණයට කියා සිටියේ අනුරාධපුර පදිංචි ආර්.එම්. රංජිත් මහතා කළ පැමිණිල්ලකට අනුව ඔහුගේ මව වන සැකකාරිය අත්අඩංගුවට ගත් බවයි.

ඇය පැමිණිලිකරුට අයත් බව කියන ජනසිරිගම ප්‍රදේශයේ පිහිටි නිවෙසට අයුතු ලෙස ඇතුළු වී රන් ආභරණ, මුදල්, වී මිටි සියයක් ඇතුළු දේපළ විශාල ප්‍රමාණයක් සොරාගෙන තිබෙන බවට පැමිණිලි ලැබී තිබෙන බවත් සිදුකළ විමර්ශනවලදී මෙම සිද්ධිය පෞද්ගලික හා දේපළ ආරවුලක් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් බව අනාවරණය වී ඇති බවත් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේය.

සැකකාරිය අදාළ නිවෙසට අයුතු ලෙස ඇතුළු වී ඇති බවට පැමිණිල්ල සඳහන් කර ඇතත් ඇය සන්තකයේ අදාළ නිවෙසට අයත් ඔප්පුවක සත්‍ය පිටපතක් ඇති බවද පොලිසිය අධිකරණයට දැන්වූවේය. මහලු මව නිවෙසේ භාණ්ඩ සොරාගෙන ඇති බවට පැමිණිලි ලැබී ඇතත් පැමිණිල්ලේ සඳහන් භාණ්ඩ ලොරි රථයකින් වෙනත් ස්ථානයකට ප්‍රවාහනය කළ බව ඊට සම්බන්ධ වූ සේවකයන් ප්‍රකාශ කර තිබෙන බවත් පොලිසිය අධිකරණයට දැන්වූවේය.

සැකකාරිය සමඟ පැමිණිලිකරුගේ සහෝදර සහෝදරියන් නව දෙනකු සිද්ධියට සම්බන්ධ බවට පැමිණිලිකරු පොලිසියට ප්‍රකාශ කර ඇති බවත් අධිකරණයට කරුණු දැක්වූ පොලිසිය සැල කර සිටියේය.

සැකකාර වයෝවෘද්ධ කාන්තාව වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ නීතිඥ නයනා රත්නායක මහත්මිය කියා සිටියේ මෙම මවට ජීවිත භුක්තිය තිබෙන නිවෙසට ඇයට අයුතු අන්දමින් ඇතුළු වීමට අවශ්‍යතාවක් නැති බවයි. ඇය සතුව තිබූ යතුරෙන් ‍ෙදාර විවෘත කර ඊට ඇතුළු වී තිබෙන බවත් දේපළ සම්බන්ධයෙන් ඇති කර ගෙන තිබෙන ගැටලුවක් මත මෙම පැමිණිල්ල ක්‍රියාත්මක වී ඇති බවත් ඇය අධිකරණයට කීවාය.
කැලයට ගිය නිවෙසක රත්රන් බඩු හා මුදල් තබා යෑම පුදුමයක් බවත් මෙම පැමිණිල්ල සම්පූර්ණයෙන්ම අසත්‍ය හා ගොතන ලද පැමිණිල්ලක් බව අෑ අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම මව හෝ වෙනත් සහෝදරයකු නිවෙසේ තිබූ භාණ්ඩ සොරාගෙන ගොස් නැති බවත් පොලිසිය කී අයුරින් එය පැමිණිලිකරුගේ අනුදැනුම මත වෙනත් පිරිසක් නිවෙසින් රැගෙන ගොස් තිබෙන බවත් නීතිඥවරිය අධිකරණයට සැල කර සිටියාය. අත්අඩංගුවට ගත් සැකකාරිය ඇප මත මුදාහැරුණු අතර ඇයට නැවතත් 2019 වසරේ ජනවාරි 14 වැනිදා කහටගස්දිගිලිය සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විනිසුරුවරයා නියෝග කළේය.

අනුරාධපුර හොරොව්පොතාන කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරි සේනක බී. ජයසිංහ මහතාගේ උපදෙස් මත කහටගස්දිගිලිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ප්‍රදීප් මංජුල උඩුමලගල මහතාගේ මෙහෙයවීමෙන් සැරයන් සුනිල් මහතා සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු කීවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon