රෝගී මව ජීවත් කරවන්නට පලා විකුණන උපාධිධාරිනියක්

  👤  3353 readers have read this article !
By mawbima 2018-10-17

අම්බලන්ගොඩ - ධර්මදාස සිරිවර්ධන

ඇල්පිටියේ පොදු වෙළෙඳපොළ පාරේ කඩ මැස්සක පලා කොළ තබාගෙන අලෙවි කරන සුන්දර යුවතියකි. ඇය පැමිණෙන සෑම ගනුදෙනුකරුවකුටම පලා මිටියක් හෝ අලෙවි කර ගැනීමට උත්සාහ දරන්නීය. නිලන්ති වික්‍රමසිංහ නම් වූ ඇය කැලණිය විශ්වවිද්‍යාලයෙන් 2012 වසරේ විශේෂ උපාධියක් ලබා ගත් උපාධිධාරිනියක බව කිසිවකු නොදනී.

එමෙන්ම ඇයගේ අතීත කතාවද කඳුළු ගොඩකි. ඇය ඉපදී මාස 6ක් වන විට භීෂණ සමයේ පියා අතුරුදන් විය. එදා සිට මේ දෙදෙනා තනි වූයේ සිහිනෙන්වත් නොසිතූ අයුරිනි. කෙසේ හෝ අසරණව තනි වූ මේ මව දහදුක් විඳිමින් නිලන්ති පාසල් යැව්වේ දහසක් අඩුපාඩු මධ්‍යයේය.

ඇය ඇල්පිටිය ආනන්ද විද්‍යාලයෙන් අ.පො.ස. උසස් පෙළ ඉහළින් සමත් වී කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූයේ දහසකුත් එකක් බලාපොරොත්තු ඇතිවය. ඉන් ප්‍රධාන වූයේ හොඳ රැකියාවක් කර මේ දක්වා දහ දුක් විඳිමින් ඉගැන්වූ අම්මාට දුක් නොදී රැකබලා ගැනීමය. එය මල්ඵල ගන්වමින් උපාධි ලෝගුව පලඳවන අයුරු මේ මව කඳුළු පිරි දෙනෙතින් ඒ දෙස බලා සිටියේ ඇය රැජනක් කළා යන හැඟීමෙනි.

එහෙත් දැන් සියල්ල කණපිට පෙරළී ඇත. ඇයට රැකියාවක් මේ දක්වාම ලැබී නැත. කෙසේ වුවද එවකට ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා කොළඹ ප්‍රදේශයේ රාජ්‍ය අනුබද්ධිත ආයතනයක තාවකාලික පත්වීමක් ලබා දී ඇති අතර මවගේ අසනීපය නිසා ඇය තනිකර යෑමට නොහැකි නිසාත් දුර බැහැර යෑමට තරම් එම රැකියාවෙන් ලැබෙන සොච්චම මඟටම වැය වන නිසාත් නිවෙසේ නතර වී පුරුදු රැකියාවම අරඹා මෙසේ මව රැකබලා ගන්නේ සියලු බලාපොරොත්තු සුන් වූ අයුරිනි. මව අසනීප වුවද කොහේ හෝ ගොස් පලා මිටි ටිකක්, ඇඹරැල්ලා ටිකක් ගෙනැවිත් කඩමැස්සේ තබන්නේ මහත් අපහසුවෙනි. ඒ දියණිය තැන් තැන්වල යැවීමට ඇති බිය නිසා විය යුතුය.

කෙසේ වුවද අද වන විට සියලුම උපාධිධාරීන්ට රජයේ රැකියාවක් ලබා දීමට රජය තීරණය කර ඇතත් මේ අසරණ තරුණිය දෙස කිසිදු බලධාරියකුගේ ඇස නොගැටීම නම් ජාතියේ අවාසනාවකි. යමක් කර කියා ගත හැකි අය බලවතුන් පසු පස ගොස් හොඳ රැකියාවල් ලබා ගනිද්දී ඇය ඔවුන් දෙස බලනුයේ කඳුළු පිරි දෙනෙතිනි.

එමෙන්ම ඇය සමඟ එකට සිටි යහළු යෙහෙළියන් අද විධායක ශේ‍ර්ණියේ රැකියාවලද සිටින බව ඇය පවසන්නේ සුසුමක්ද පිට කරමිනි. අද උපාධිධාරීන් රැකියාවට ගොස් එන විට ඔවුන්ට පලා මිටියක් විකුණා තම මව රැකබලා ගැනීමට තරම් ඇය අවාසනාවන්ත වූයේ ඇයගේ වරදින් නොව සමාජ ක්‍රමයේ කොහේ හෝ ඇති වරදක් නිසා බව නම් කිව යුතුයි. මේ වන විට ඇයට අසාධාරණයක් සිදු වී හමාරය. පසුගියදා ගාල්ල හෝල් ඩි ගෝල් ශාලාවේ පැවැති සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වී ඇතත් එයටද මේ දක්වා කිසිදු පිළිතුරක් නැති බව ඇය පැවැසුවාය. කෙසේ වුවද ඇය තවදුරටත් පලා විකිණිය යුතු නොවන බව නම් බලධාරීන්ට පෙන්වා දෙන්නෙමු.

ඇය පිළිබඳ ජනාධිපතිවරයාගේ හෝ රාජ්‍ය පරිපාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ හෝ අවධානය යොමු වන්නේ නම් අංක 15, පොදු වෙළෙඳපොළ පාර, ඇල්පිටිය ලිපිනයේ ඇය සිය වයෝවෘද්ධ රෝගාතුර මව සමඟ සිටින බව පෙන්වා දෙන්නෙමු. ඇයට සහනයක් වශයෙන් සුදුසු රැකියාවක් ලබා දෙන්නේ නම් එයද සටහන් කිරීමට අපි පසුබට නොවන්නෙමු.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon