දෙනෙත් නොපෙනෙන රසාරාට බේ්‍රල් යතුරුලියනයක් ගෙන දුන්නොත් පින්!

  👤  3035 readers have read this article !
By mawbima 2018-10-17

දෙවනගල -ජනනාත් වික්‍රමසිංහ

අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උඩුවේවල වසමේ පදිංචි එල්. රසාරා ප්‍රියානි ලියනගේ දහසකුත් එකක් කම්කටොලු මැද අධ්‍යාපනය ලබන දිරිය දියණියකි. උපතින්ම දෘශ්‍යාබාධිත මෙම දැරිය සිය ආබාධිත බව අධ්‍යාපනයට බාධාවක් කර නොගත්තාය.

අ.පො.ස. (සා.පෙළ) කඩඉම හොඳින් ජයගත් ඇය කෑගල්ල බාලිකා විද්‍යාලයේ අ.පො.ස. (උ.පෙළ) හදාරමින් සිටී. දරුවන් තිදෙනකු සිටින පවුලක වැඩිමහල් දරුවා වන රසාරා දියණිය සිය බාල සහෝදරයන්ටත් ආදර්ශයක් වෙමින් සිතට ගතට දිරිය ගෙන අධ්‍යාපනය වෙනුවෙන් කාලය කැප කරයි. හරිහමන් රැකියාවක් නොමැති පියා එදිනෙදා කුලී වැඩක් කර පවුල පෝෂණය කිරීමට මහත් වෙහෙසක් දරයි.

සිය පවුලේ අගහිඟකම් සිය නෙතට නොපෙනුණත් සිතට හොඳින් පෙනෙන බැවින් රසාරාගේ අපේක්ෂාව උසස් පෙළ විභාගය සමත්ව පවුල් බරට තරමක් හෝ උර දීමයි.

නමුත් ඇගේ එම බලාපොරොත්තුව මල්පල ගැන්වීමට නම් බේ්‍රල් යතුරුලියනයක අවශ්‍යතාව බෙහෙවින් පවතින බව ඇගේ මව වන නිරෝෂා ප්‍රියංගනී සඳහන් කළාය. බේ්‍රල් යතුරුලියනයක් රුපියල් එක් ලක්ෂ අසූදහසක් පමණ වන බව ඇය කියයි.

රසාරාගේ පියා එල්. රංජිත් චන්ද්‍රකුමාර දියවැඩියා රෝගයෙන් පෙළේ.

මේ නිසා ඔහුටද ප්‍රතිකාර ගැනීමට සහ පවුලේ සෙසු දරුවන් පාසල් යැවීමටත් පවුලේ නඩත්තුවටත් රංජිත් කුලී වැඩක් කර උපයන මුදල කිසිසේත් ප්‍රමාණවත් නොවේ. එසේ තිබියදී රසාරා වෙනුවෙන් බේ්‍රල් යතුරුලියනයක් මිලදී ගැනීම තමන්ට සිහිනයක් පමණක් බව පවසන රසාරාගේ මව ඒ වෙනුවෙන් තමන්ට උපකාර කිරීමට කෙනකු වෙතොත් එය මහත් භාග්‍යයක් බව පවසයි. රසාරා වෙනුවෙන් බේ්‍රල් යතුරුලියනයක් මිලදී ගැනීමට උපකාර කිරීමට ඉදිරිපත් වන අයකු වොතොත් ඇගේ මව වන නිරෝෂා ප්‍රියංගනී මහත්මියගේ 0715523570 දරන අංකයට අමතා උපකාර කළ හැකිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon