තරුණ තරුණියන්ට අපි හොඳ අනාගතයක් ලබා දෙනවා

  👤  3050 readers have read this article !
By mawbima 2018-10-17

ලෝක ආර්ථික අර්බුදය හමුවේ මෙරට ඉන්ධන මිල දිනෙන් දින ඉහළ ගියද නියඟය සහ අධික ණය බර වැනි අභියෝගයන්ට අපි සාර්ථකව මුහුණ දුන් ආකාරයටම මෙම අභියෝගයටත් මුහුණ දී විසඳුම් සොයා ගන්නා බවත්, සංවර්ධනයේ මූලික පදනම ගොඩනඟාගත් පසු ඒ හරහා තරුණ තරුණියන්ට හොඳ අනාගතයක් ලබාදීමට මේ ආණ්ඩුව කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ගල්ගමුවේදී පැවැසීය.

ජාත්‍යන්තර ක්‍රමවේදයට අනුව ලෝකයේ ඇතැම් රටවල් දෛනිකව, සතියකට වරක් ලෙසත්, මාසිකවත් ඉන්ධන මිල වෙනස් කිරීම සිදු කරන ඉන්ධන මිල සූත්‍රයක් හඳුන්වා දෙමින් අප සිදු කළේ ලෝක වෙළෙඳපොළේ මිල වෙනස් වීමට අනුව රටේ මිල වෙනස් කිරීම බවත් මෙය තේරුම් ගත නොහැකි තරම් ප්‍රහේලිකාවක් නොවන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

ඩොලරය ඉහළ යෑම හමුවේ සාර්ථකව නැඟී සිටිය හැකි එකම ක්‍රමය රටේ අපනයන අංශ සියල්ල වේගයෙන් දියුණු කරමින් අපනයන ආර්ථිකයක් හරහා රට ඉදිරියට ගෙන යෑම බව ඇහැටුවැව බණ්ඩාරනායක මහා විද්‍යාලයේ දෙමහල් ගොඩනැඟිල්ල සහ සෞන්දර්ය ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

එහිදී වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය.

පසුගිය කාලය තුළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පාසල් ගොඩනැඟිලි රට පුරා විශාල වශයෙන් විවෘත කිරීමට අපට හැකිවුණා. කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ මා වැඩිපුරම පැමිණ තිබෙන්නේ වන්නි හත්පත්තුවටයි. මේ කටයුතු ඉටුකිරීම සම්බන්ධයෙන් අකිල විරාජ් කාරියවසම් මහතාට මම ස්තුතිවන්ත විය යුතුයි. පරණ කුණු සෝදා හරිමින් විශාල වෙහෙසක් ගනිමින් එතුමා කටයුතු කරනවා.

අප බලය ගන්නා විට පුහුණු ගුරුවරුන්ගේ හිඟයක් පැවැතුණා. නමුත් අපේ වසර 5 අවසන් වන විට පුහුණු ගුරුවරුන් ප්‍රමාණවත් තරම් බ¼දවා ගැනීමට අප කටයුතු කරනවා. එවිට අධ්‍යාපන ක්‍ෂේත්‍රය දියුණු වෙනවා.

ඒ වගේම වජිර අබේවර්ධන ඇමැතිතුමා මෙවැනි දුෂ්කර ප්‍රදේශවලට පරිපාලන පහසුකම් ලබාදීමට කටයුතු කරමින් සිටිනවා. ගොඩනැඟිලි ඉදිකරමින් නිවාස පහසුකම් ලබාදෙමින් බිම් මට්ටම තුළ ගුණාත්මක පාලනයක් ගෙන යෑමට අවශ්‍ය කටයුතු සිදු කරමින් තිබෙනවා. ඒ වෙනුවෙන් ඒ මහතාටත් ස්තුතිවන්ත විය යුතුයි.

මේ සියල්ල සිදුකිරීමට ආණ්ඩුවක් ලෙස මුදල් සොයා ගැනීමට සිදු වෙනවා. අප ආණ්ඩුව භාර ගන්නා විට රට තුළ මුදල් තිබුණේ නැහැ. 2014 වන විට විදේශ ණය ගෙවීමට රටේ ආදායම ප්‍රමාණවත් වුණේ නැහැ. අප මෙම ආණ්ඩුව භාර ගන්නා විට පොරොන්දු වුණේ කෙසේ හෝ අවශ්‍ය මුදල් සොයා ගනිමින් ණය ගැටලුවෙන් රට බේරා ගන්නා බවයි. ණය බර නිසා රටක් ලෙස අපි බංකොලොත් වුණා නම් රටේ තරුණ තරුණියන්ට අනාගතයක් නොමැති වෙනවා. වසර 4-5ක් ගත වුණත් අපහසුවෙන් හෝ ණය ගෙවන විට ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට හැකි වෙනවා. තරුණ තරුණියන්ට අනගතයක් නිර්මාණය කිරීමට නම් රට හොඳ ආර්ථිකයක් ඇති කිරීමට නම් අප එය සිදුකළ යුතු වුණා.

ජනතාවගෙන් කොතරම් විවේචන එල්ල වුණත් අවශ්‍ය මුදල් සොයා ගැනීමට අපට සිදුවුණා. ඒ අතරතුර විශාල නියඟයකට අපි මුහුණ දුන්නා. පොහොර හිඟයක් ඇතිවුණා. ඒ වෙනුවෙන් ජනතාවගෙන් බැනුම් ඇසුවා. ප්‍රාදේශීය සභා මැතිවරණය පරාජයට පත්වුණා. නමුත් අප්‍රේල් මාසය පමණ වන විට නැවතත් ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට අපට හැකිවුණා. මේ වන විට ගම්පෙරළිය, එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහ අනෙකුත් සංවර්ධන වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා.

අපේ අරමුණු වන්නේ රටේ ආර්ථිකයට මෙන්ම ගෙදර ආර්ථිකයටත් යම් සහනයක් ලබාදීමයි. ගෝලීය ආර්ථික අර්බුදයක් ඇති වුණත් රටේ ජනතාවගේ ආර්ථිකය යහපත් කළ යුතුයි. ඒ තත්ත්වයට මුහුණ දීම සඳහා අවශ්‍ය මුදල් සොයා ගත යුතුයි.

ගෙදර ආර්ථිකයට සහනයක් ලබාදීමෙන් පමණක් සෑහීමකට පත්විය නොහැකියි. රටක් ලෙස ඉදිරියට යනවා නම් රුපියල ශක්තිමත් කර ගැනීමටත් සිදුවෙනවා.

ඉන්දුනීසියාව වැනි රටවලට නොමැති පාකිස්තානය සහ ශ්‍රී ලංකාවට පමණක් බලපාන ගැටලුවක් තිබෙනවා. එනම් විශාල ණය කන්දයි.

ණය ගෙවීමටත්, ඩොලරය ඉහළ යෑමටත් විසඳුම් සෙවීමට සිදුව තිබෙනවා. දේශපාලන වාසි වෙනුවෙන් කෑ ගැසීම හෝ ඉන්ධන මිල සූත්‍රය වැරැදි යැයි කෑ ගැසීම තුළින් මේ තත්ත්වය විසඳන්නේ නැහැ.

උපතිස්ස පෙරේරා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon