හිටපු ඇමැති ජොන්ස්ටන්ට එරෙහි ලක් සතොස නඩුව අද

  👤  3073 readers have read this article !
By mawbima 2018-10-17

කුරුණෑගල - විජේසිංහ වැලිකන්ද

පසුගිය රජයේ හිටපු සමුපකාර අමාත්‍ය කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ තවත් දෙදෙනකුට එරෙහිව කුරුණෑගල මහාධිකරණයේ පසුගිය සැප්තැම්බර් මස 3දා සිට අඛණ්ඩව විභාග වූ නඩුව මෙම මස 9දා පැවැති මොහොතේ කල් තැබීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මියගේ නියෝග මත යළි අද (17දා) විභාගයට ගැනීමට නියමිතය.

අධි චෝදනා මත එල්ල කර තිබෙන චෝදනා මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට නොහැකි බවත් පැමිණිල්ලේ සාක්ෂි විශ්වසනීයත්වයෙන් මඟ හැරී තිබෙන බැවින් පැමිණිලි පාර්ශ්වයේ සාක්ෂි පරස්පර විරෝධී බව පෙන්වා දුන් විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා විත්තිකරුවන් තිදෙනා නි‍ෙදාස් කොට නිදහස් කරන මෙන් කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මියගෙන් පසුගිය 9දා කුරුණෑගල මහාධිකරණයේදී විශේෂ ඉල්ලීමක් කළේය.

කුරුණෑගල ලක් සතොස ආයතනයට අයත් යන්තම්පලාව ශාඛාවෙන් මුදල් නොගෙවා භාණ්ඩ ලබාගැනීමේ චෝදනාව මත පසුගිය ආණ්ඩුවේ හිටපු සමුපකාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තවත් පුද්ගලයන් දෙදෙනකුට එරෙහිව රජයේ නීතිපති විසින් කුරුණෑගල මහාධිකරණයේ ගොනුකර තිබූ නඩුව විභාගයට ගත් මොහොතේ පසුගිය 9දා ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා එසේ පැවැසීය.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වැනි වගන්තිය ප්‍රකාර විත්තියේ සාක්ෂි ලබා නොගෙන මෙම නඩුව අවසන් කොට විත්තිකරුවන් තිදෙනාම නඩුවෙන් නි‍ෙදාස් කොට නිදහස් කරන මෙන් මහාධිකරණ විනිසුරුවරිය අමතමින් පළමු විත්තිකරු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා විසින් මෙම ඉල්ලීම කරන ලදී.

විත්තියේ නීතිඥවරුන්ගේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය නිවේදනය කළේ ඔක්තෝබර් 17දාට තීන්දුව ප්‍රකාශයට පත්කරන බවයි. ඔක්තෝබර් මස 17දාට පෙර ලිඛිත දේශනා අධිකරණයට ඉදිරිපත් කරන මෙන් පැමිණිලි පාර්ශ්වයට, විත්තියට මහාධිකරණ විනිසුරුවරිය මෙහිදී නියෝග කළාය.

2013 වසරේදී ජූලි හා සැප්තැම්බර් කාලයේදී යන්තම්පලාව ලක් සතොස ආයතනයේ රුපියල් 38,82,859.50ක වටිනාකමක් සහිතව භාණ්ඩ මිලදී ගෙන අදාළ මුදල අවභාවිත කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

ලක් සතොස ආයතනයට අයත් ජේ‍යෂ්ඨ නිලධාරීන් මෙන්ම කාර්ය මණ්ඩලය ඇතුළු සාමාජික සාමාජිකාවන් පිරිසක් සහ කොළඹ මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකයේ නිලධාරීන් පැමිණිල්ල නියෝජනය කරමින් අධිකරණය හමුවේ සාක්ෂි දුන්හ.

මසකට අධික කාලයක් අඛණ්ඩව කුරුණෑගල මහාධිකරණයේ විභාග වන මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් ජේ‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රෝහන්ත අබේසූරිය මහතා සහ රජයේ නීතිඥ විරාජ් විජේසූරිය මහත්වරු පෙනී සිටියහ.

ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස, සවින්ද්‍ර ප්‍රනාන්දු, අනිල් ද සිල්වා මහත්වරුන් ඇතුළුව නීතිඥ ලක්මාල් රත්නායක, වෙල් ගුණවර්ධන, ඉන්දික ගිරාගම, චලන විදානගේ සහ නෙරංජන් ඊරියගොල්ල මහත්වරු විත්තිය වෙනුවෙන් පෙනී සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon