සීයාගෙන් මට කරදරයි ඒ සීයා ජීවිත කාලයටම හිරේ යවන්න

  👤  3232 readers have read this article !
By mawbima 2018-10-17

පඬුවස්නුවර - හිරුණි මෙන්ඩිස්

බාලවයස්කාර දැරියකට අතවර කළ 55 හැවිරිදි පුද්ගලයකු මෙම මස 17දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෙට්ටිපොළ මහෙස්ත්‍රාත් එස්.එෆ්. මහ්ෆි මහත්මිය නියෝග කළාය. පඬුවස්නුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසලක සිසුන්ට තමන්ට ඇති ප්‍රශ්න අදහස් හා යෝජනා ඇත්නම් ඉදිරිපත් කරන ලෙස දන්වා එම පාසලෙහි ගුරු භවතුන් විසින් ලියුම් පෙට්ටියක් පාසලේ තබා ඇති අතර එම ලියුම් පෙට්ටියට "ගෙදරට එන සීයාගෙන් මට කරදරයි. ඒ සීයාව ජීවිත කාලයටම හිරේ යවන්න. මට මගේ අම්මාට කතා කරන්න ඕනේ. මාව ළමා නිවාසයකට යවන්න. මේක කාටවත් කියන්න එපා" යනුවෙන් සඳහන් කළ ලිපියක් දැරියක විසින් දමා ඇත.

තවත් දරුවකු විසින් "එයා පව්" යනුවෙන් සඳහන් වැකියක් එම ලියුම් පෙට්ටියට දමා ඇත. එම ලිපි දෙක පිළිබඳව එම පාසලේ ගුරු භවතුන් විසින් හෙට්ටිපොළ පොලිසියට දන්වා ඇත.

සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරියකු මෙම පාසල වෙත ගොස් ලිපි දෙක ලියූ දරුවන් පිළිබඳ අනාවරණය කරගෙන අදාළ දැරියගෙන් විමසීම් කර ඇත.

තම සීයාගේ යහළුවකුව සිටින නිවෙසට යන එන සීයා කෙනකුගෙන් තමාට ලිංගික අතවර සිදුවන බව දැරිය පොලිසියට පවසා ඇත. දැරියගේ මවුපියන් වෙන් වෙන්ව වාසය කරන බවත් දැරිය ඇයගේ ආච්චි සහ සීයා භාරයේ වාසය කර ඇති බවත් පොලිසියට අනාවරණය වී ඇත.

දැරියගේ ප්‍රකාශවලට අනුව හෙට්ටිපොළ දෝතැල්ල ප්‍රදේශයේ අයකු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන හෙට්ටිපොළ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම පුද්ගලයා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

සැකකාර සීයා හෙට්ටිපොළ දෝතැල්ල ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.

කුලියාපිටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරි ඔෂාන් හේවාවිතාරණ මහතාගේ නියෝගය මත කුලියාපිටිය කොට්ඨාස 3 භාර සහකාර පොලිස් අධිකාරි නිමල් බණ්ඩාර මහතාගේ අධීක්ෂණයෙන් හෙට්ටිපොළ පොලිසියේ ස්ථානාධිපති ආනන්ද රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් කාන්තා හා ළමා අංශයේ ස්ථානාධිපතිනි පො.ප. රත්නායක මහත්මිය සහ කා.පො.සැ. චන්ද්‍රකාන්ති (471) යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon