වෛද්‍ය අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට සෞඛ්‍ය ඇමැති ක්‍රියා කරමින් සිටිනවා -රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි

  👤  2989 readers have read this article !
By mawbima 2018-10-17

ජේ.ටී. ද සිල්වා

රෝගීන්ගේ අයිතිවාසිකම් සුරකින වෛද්‍ය සභාව අකර්මණ්‍ය කිරීමටත් වෛද්‍ය අධ්‍යාපනය කඩාකප්පල් කිරීමටත් සෞඛ්‍ය ඇමැති ක්‍රියා කරමින් සිටින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

සෞඛ්‍ය ඇමැති ‍ෙදාස්තර රාජිත සේනාරත්න, වෛද්‍ය අධ්‍යාපනය මුදලට විකිණීමට උත්සාහ කළ බවද එම සංගමය අවධාරණය කරයි.

සෞඛ්‍ය ඇමැතිවරයාගේ ක්‍රියාකලාපය තරයේ හෙළා දකින එම සංගමය ඇමැතිවරයා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුවිය යුතුව ඇතැයිද සඳහන් කරයි.

සෞඛ්‍ය ඇමැතිවරයාගේ අගතිගාමී ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා ලබන 18 වැනිදා තම සංගමයේ මධ්‍යම කාරක සභාව රැස්වී තීන්දු තීරණ කිහිපයක්ම ගනු ලබන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවැසීය.

සෞඛ්‍ය සේවාවට විශාලම අගතියක් කළ සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස රාජිත සේනාරත්න ඇමැතිවරයා හැඳින්විය හැකි බව ඔබතුමාට පසක් වනු ඇතැයිද සෞඛ්‍ය ඇමැතිවරයා ගනු ලබන පියවර නිසා වෛද්‍ය සේවාවේ ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතිය තර්ජනයකට ලක් වුවහොත් මේ රටේ රෝගී ජනතාව මෙතෙක් අත්විඳි ගුණාත්මක සෞඛ්‍ය සේවාව අවදානමකට ලක්වනු ඇතැයි එම සංගමය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ලිපියක් යවමින් අවධාරණය කර ඇත.

සෞඛ්‍ය ඇමැතිවරයාගේ ක්‍රියාකාරකම් හයක් ඇතුළත් එම ලිපියෙහි වෛද්‍ය සභාවේ තාක්ෂණික තීරණවලට සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස ඔහු අස්සන් නොකිරීමේ හේතුවෙන් වෛද්‍ය සභාවේ තාක්ෂණික තීරණ අධිකරණය හමුවේ නීත්‍යානුකූල නොවන තත්ත්වයට පත්වූ බවත් ප්‍රමිතියෙන් තොර බව පාර්ලිමේන්තුව ඇතුළු සියලු අංශ සනාථ කර ඇති වංචනික 'සයිටම්' ආයතනය වෙනුවෙන් රාජිත සේනාරත්න අමාත්‍යතුමා කිසිදු ලැජ්ජාවකින් තොරව ප්‍රසිද්ධියේ පෙනීසිට ඇතැයිද ඉන් වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය මුදලට පාවාදීම දැකගත හැකි යැයිද එම ලිපියෙහි සඳහන් වෙයි.

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය මෙතෙක් ගැසට් කිරීමට කටයුතු කොට නැති බවත්, 2008 වර්ෂයේ සිට වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් කරන්නට මෙතෙක් සිටි සෞඛ්‍ය ඇමැතිවරු දැරූ උත්සාහයන් ව්‍යර්ථ කිරීමට කටයුතු කළේද රාජිත සේනාරත්න මහතා බව හැන්සාඩ් වාර්තා පෙන්වා දෙන බවත් දශකයකට ආසන්න කාලයක් තිස්සේ අවම ප්‍රමිතිය ගැසට් නොකෙරුණේ මොහු නිසා බවත් එම ලිපිය මඟින් පෙන්වා දී ඇත.

ස්වාධීන රාජ්‍ය ව්‍යුහයක් වූ වෛද්‍ය සභාව වෙනුවෙන් නීතිපතිතුමාට උසාවියේ පෙනී සිටීමට ඇති හැකියාව වළක්වා වෛද්‍ය සභාවේ තීරණවලට පටහැනි ස්ථාවරයක් නීතිපතිතුමා මඟින් උසාවියට දැනුම්දීම හරහා සයිටම් නඩුවේ අද ඇති වී තිබෙන තත්ත්වයට මඟ පෑදුවේ රාජිත සේනාරත්න ඇමැතිතුමා විසින් බවද එම ලිපිය මඟින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇත.

වැඩිම කාලයක් වෛද්‍ය සභාවේ සභාපති තනතුර පුරප්පාඩුව පවත්වා ගැනීම, වැඩිම කාලයක් වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරිවරයෙක් නොමැතිව කටයුතු කිරීමට සැලැස්වීම, වැඩිම කාලයක් වෛද්‍ය සභාවේ ඡන්දයෙන් පත්වන තනතුරු පත් නොවීමට ඉඩ සැලැස්වීම, වෛද්‍ය සභාවේ ඡන්ද පවත්වන ක්‍රමවේදය ගැසට් නොකිරීම, වෛද්‍ය සභාවේ තාක්ෂණික තීරණ අත්තනෝමතික ලෙස වෙනස් කර පාර්ලිමේන්තු පනත් සැකසීම යනාදිය රාජිත සේනාරත්න ඇමැතිතුමා වගකිවයුතු බව සියලුදෙනාගේ අවධානයට යොමුවිය යුතු කරුණු බවද එම ලිපිය මඟින් පෙන්වා දී ඇත.

වෛද්‍යවරයකු වීමට ඇති අවම සුදුසුකම් අත්තනෝමතික ලෙස හෑල්ලු කර, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් වෛද්‍ය සභාව ඔහුට හැකි අයුරින්ම බල රහිත කිරීමට, අවුල් කිරීමට හා අකර්මණ්‍ය කිරීමට රාජිත සේනාරත්න ඇමැතිතුමා කටයුතු කර ඇතැයිද එම ලිපිය මඟින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon