මව්බිම කේවල් තීරු ලිපි එකතුව සුවිශේෂි සමාජ විග්‍රහයක් -ජනාධිපති මාධ්‍ය උපදේශක ගාමිණී සුමනසේකර

  👤  3054 readers have read this article !
By mawbima 2018-10-17

'මව්බිම කේවල් තීරුව' ලිපි එකතුවේ පුළුල් වපසරිය විමසන විට කලාව, සෞන්දර්යය ආදී විෂය ගණනාවක් ගැන හේමන්ත වර්ණකුලසූරිය තරම් උනන්දුවක් දැක්වූ ලේඛක නීතිඥයකු නැතැයි සිතෙනවා යැයි දිවයින හිටපු ප්‍රධාන කර්තෘ සහ ජනාධිපති මාධ්‍ය උපදේශක ගාමිණී සුමනසේකර මහතා ප්‍රකාශ කළේය.

හෙතෙම මේ අදහස් පළ කෙළේ අභාවප්‍රාප්ත ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා විසින් 2013-2015 කාලයේ 'මව්බිම' පුවත්පතට ලියන ලද 'මව්බිම කේවල් තීරුව' නමැති තීරු ලිපි එකතුව ග්‍රන්ථයක් ලෙස ජනගත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින්ය.

එම තීරු ලිපි එකතුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (12දා) කොළඹ පදනම් ආයතනයේදී පැවැති උත්සවයකදී ග්‍රන්ථයක් ලෙසින් ජනගත කෙරිණි. එහිදී ගාමිණී සුමනසේකර මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

ඔහු තම තීරු ලිපි උත්ප්‍රාසයෙන් යුතුව රචනා කළා. 'උන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය හා අපේ ප්‍රජාතන්ත්‍රවාදය' වැනි වචන මෙන්ම ඩඩ්ලි සේනානායක ගැන කියන්න 'කාන්තාරයේ බෝගස' ආදී යෙදුම් භාවිත කළා.
හේමන්තගේ තීරු ලිපි මානවසිංහගේ වගතුග, දයාසේන ගුණසිංහගේ රයිගම්රාල ආදී තීරු ලිපිවලට වඩා වෙනස් ලෙස රචනා කොට තිබෙනවා.

ඔහු හැම විටම ජාතිවාදය ප්‍රතික්ෂේප කළා. කුලවාදයට පහර ගැහුවා. මනුෂ්‍යත්වය, දයාව පිළිබඳ හැඟීම් එම ලිපිවලින් නිරන්තරව ප්‍රකට වුණා. මලාලා ගැන ඔහු තමයි මුලින්ම 'මව්බිම'ට ලිව්වේ. ගවේෂණය පිළිබඳ හොඳ මනසක් ඔහුට තිබුණා.

ඔහු තුළ චිත්‍රපටයක් කිරීමට අදහසක් තිබුණා. ඒත් සම්භාව්‍ය සාහිත්‍ය, සම්භාව්‍ය චිත්‍රපට ව්‍යාජ දේවල් කියලයි ඔහු සිතුවේ. ඔහු සෑම විටම පාඨකයා බුද්ධිමත් තලවලට රැගෙන ගියා.

ආගමික අන්තවාදය වගේම බුද්ධිමය අන්ධකාරය රටට අයහපතක් ගෙන දෙන බව ඔහු අභීතව ලිව්වා. ඔහුගේ භාෂාව විටෙක නාට්‍යානුසාරයි. සිංහල භාෂාව සුඛනම්‍ය ලෙස හැසිරවීමේ සහජ දක්ෂකමක් හේමන්ත සතු වුණා.

රාජකීය විද්‍යාලයෙන් ලද පන්නරය ඔහු ජීවිත කාලය පුරාවටම කැරලිකරුවකු බවට පත් කළා. ඒ සෑම දෙයකින්ම ඔහු පාඨකයා සමඟ මිනිසා සොයාගියා.

කේවල් කිරීම තුළ ගාන්ධි, බණ්ඩාරනායක, මැන්ඩෙලා ආදී යුග ගැන කතා කළා. ඒ වගේම බුද්ධාගම, කුරානය, භගවත් ගීතාව ගැනත් විවරණ ඉදිරිපත් කළා.

'මව්බිම' කේවල් තීරු ලිපියක් වුණත් දීර්ඝ තීරු ලිපියක් ලෙසයි ලියැවුණේ.

ඒ නිසා මෙය තීරු ලිපි ලක්ෂණ ඇති වෙනත් සුවිශේෂී සමාජ විග්‍රහයක් ලෙසද සැලකිය හැකියි.

කේවල් යන වචනයට ශබ්දකෝෂයේ ඇති නාමය විහිළුව, ඔච්චම යන්නයි. මේ මුළු කෘතියේම තිබෙන්නේ විවිධ සමාජ තලවලට අයිති පුද්ගල හැසිරීම් පිළිබඳ විචාරයක්' යැයි ද කීවේය.

පූජ්‍ය පාගොඩ ජන්තවංශ හිමි
අනුරාධපුර පූජා නගරය අපවිත්‍ර වී තිබූ අවස්ථාවක හේමන්ත වර්ණකුලසූරිය මහතා එහි පාරිශුද්ධ බව වෙනුවෙන් පෙනී සිටියා. වසර දහයක් තිස්සේ තිසා වැවට මළ මුත්‍රා ඇතුළු ද්‍රව්‍ය එකතු වෙලා අපවිත්‍ර වෙන තත්ත්වයක් උදා වී තිබුණා. අටමස්ථානවලට පවා වතුර ගන්නෙ එම වැවෙන්. මේ ගැන නඩුවකුත් පවරා තිබුණා. ඒත් ඒ නඩු තීන්දු ක්‍රියාත්මක වෙන්නෙ නැහැ.

තිසා වැව ඇතුළු පූජා භූමියේ පවිත්‍රතාව වෙනුවෙන් හඬ නැඟූ හේමන්ත වර්ණකුලසූරිය මහතා මගෙන් ඉල්ලා සිටියා එතුමාගේ තීරු ලිපි පොතක් ලෙස ‍ෙදාරට වඩින කොට කතාවක් කරන්න කියලා. ඒ නිසා තමයි මම අද වැඩම කළේය. මෙතැන ජනාධිපතිතුමත් ඉන්නවා. එතුමා වැව් බැඳි රාජ්‍යයෙන් ගිහිල්ලා තමයි ජනාධිපති වුණේ.

ඒ නිසා මේ පූජා භූමිය ගැන ඔබතුමාට මනා වැටහීමක් ඇතැයි සිතනවා. පණ්ඩුකාභය රජතුමා ඇති කළ මේ නගරය ආරක්ෂා කර ගැනීමේ භාරකරුවා ඔබතුමයි. ඒක කරන ලෙස මා ඉල්ලා සිටිනවා.

ප්‍රවීණ කලාකරු අධිනීතිඥ නාමෙල් වීරමුණි මහතා
පාසල් කාලයෙත්, වෘත්තීය ක්‍ෂේත්‍රයෙත් හේමන්ත විප්ලවාදියෙක්. ඔහුගේ ඍජු හඬ අභීතව ඉදිරිපත් කළා. ඔහු මිය යන තුරුම තම මතවාදය වෙනුවෙන් පෙනී සිටියා. 'මව්බිම කේවල්' ඔහුගේ ප්‍රකාශන හැකියාවේ සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකිය හැකියි.

ඔහු හැම විටම හිනාවෙලා ඉන්න උත්සාහ කළා. සමහර නඩුවලදී මගෙනුත් උපදෙස් ගන්නවා. ඒවා ජයගත් විට ඒක කියල ස්තුති කරනවා. මම ලොක්කා කියන අදහසක් ඔහු තුළ තිබුණේ නැහැ. ඒක සුවිශේෂී ගුණයක්.


හේමන්ත වර්ණකුලසූරිය මතාගේ බිරිය වන අයිරාංගනී වර්ණකුලසූරිය, බෑනා වන කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ, නීතිඥ ශාන්ත හේරත් මහත්ම මහත්මීහුද මෙහිදී අදහස් දැක්වූහ.

අමාත්‍ය රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග,හිටපු
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු මැති ඇමැතිවරු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

දෙනගම ධම්මික රණවීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon