ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු යොවුන් ඔලිම්පික් පදක්කම පාරමීගෙන්

  👤  3099 readers have read this article !
By mawbima 2018-10-17

ආජන්ටිනාවේ බුවනෝෂ් අයිරිෂ්හිදී පැවැත්වෙන තෙවැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී බාලිකා මීටර් 2000 බාධක දිවීම තරග ඉසව්වට සහභාගි වූ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ පාරමී වසන්ති මාරිස්ටෙලා එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගන්නා ලද අතර එය ශ්‍රී ලංකාවට හිමි වූ පළමු යොවුන් ඔලිම්පික් පදක්කම සහ දශකයකට පසුව ලෝක මට්ටමේ මලල ක්‍රීඩා තරගාවලියකදී ශ්‍රී ලංකාවට හිමි වූ පළමු පදක්කම ලෙසින් ඉතිහාසගත විය.

එහිදී මීටර් 2000 බාධක දිවීම තරග ඉසව්ව සිය පෞද්ගලික හොඳම කාලය ලෙස මිනිත්තු 6යි තත්පර 33.06කින් නිමා කරමින් පාරමී එහි තුන්වැනි ස්ථානය හිමි කරගත්තාය. යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නීති රීතිවලට අනුව මීටර් 800ට ඉහළ තරග ඉසව් සඳහා සහභාගි වන සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවක්ම සහභාගි වූ කිලෝමීටර් 4 රට හරහා දිවීමේ තරගයට මුහුණදීමට සිදුවන අතර, ඒ අනුව එම ඉසව් දෙකෙහිදීම ඔහු හෝ ඇය දක්වන දක්ෂතාව මත පදක්කම් සඳහා සලකා බැලීම සිදු කෙරෙයි.

ඒ අනුව පාරමී වසන්ති සහභාගි වූ දෙවැනි තරගය වූ කිලෝමීටර් 4ක රට හරහා දිවීමේ තරගය මිනිත්තු 13යි තත්පර 47කින් නිමා කළාය. එහිදී බාලිකා මීටර් 2000 බාධක දිවීම තරග ඉසව්ව නියෝජනය කළ ක්‍රීඩිකාවන් අතර 4 වැනි ස්ථානයත් කිලෝමීටර් 4 රට හරහා දිවීම තරගයේ 17 වැනි ස්ථානයත් ලබා ප්‍රසාද ලකුණු ගණනයට අනුව බාලිකා මීටර් 2000 බාධක දිවීම තරග ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ඇය සමත් වූ අතර එම ඉසව්වේ රන් පදක්කම කෙන්යාවේ ෆැන්සි වෙරෝනෝටත් රිදී පදක්කම ඉතියෝපියාවේ මෙකිඩේස් අබිබේටත් හිමි විය.

තවද මෙම ක්‍රීඩා උළෙලේ උස පැනීමේ පිරිමි ඉසව්වේදී සෙනිරු අමරසිංහ තම පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙස මීටර් 2.14ක උසක් තරණය කරමින් එම ඉසව්වේ සිවු වැනි ස්ථානයට පත්වීම කැපීපෙනුණු අතර දිලාන් බෝගොඩ මීටර් 400 බාලක තරගයේ දෙවැනි අදියර තත්පර 48.81 කින් නිමා කරමින් සමස්ත තරගයේ හත්වැනි ස්ථානයට පත් විය.

මේ අතර ජාත්‍යන්තර බැඩ්මින්ටන් සංගමය විසින් නම් කරන ලද ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත කණ්ඩායම් බැඩ්මින්ටන් තරග ඉසව්වට සහභාගි වූ හසිනි අම්බලන්ගොඩගේ නියෝජනය කළ 'ඇල්ෆා' කණ්ඩායම එහි රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon