මේ දේශද්‍රෝහී තක්කඩි රැළත්් එක්ක රටට හුස්ම ගන්න බෑ

  👤  3111 readers have read this article !
By mawbima 2018-10-18

වත්මන් ආණ්ඩුව ත්‍රස්තවාදීන්ගේ පවුල්වලට වන්දි ලබාදීම හරහා ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරන බවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත හරහා පවා සිදු කරනුයේ ත්‍රස්තවාදය සුරතල් කිරීම බවත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පැවැසීය.

ආපදාවලින් විපතට පත් ජනතාවට පවා හරිහැටි වන්දි ලබාදීමට කටයුතු නොකළ ආණ්ඩුව ත්‍රස්තවාදීන්ට වන්දි ලබාදීමට කටයුතු කරන බවත් ත්‍රස්තවාදීන්ට වන්දි දෙන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බවත් මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඊයේ (17දා) බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

අද රටේ තත්ත්වය ඉතාමත් තීරණාත්මකයි. ඒ වගේම අනතුරුදායක දේවල් බොහොමයක් සිදු වෙනවා. වර්තමාන ජනාධිපතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා වගේම හිටපු ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් සිදු වූ බව. එයට පොලිස්පතිවරයෙක් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සහ පොලිස් ඔත්තුකරුවන් සහභාගි කරවගෙන. ඒ වගේම පාතාල කණ්ඩායම් සහභාගි කරවගෙන සිදු කිරීමට යෑම සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරගෙන තිබෙනවා. නාමල් කුමාර නමැති පුද්ගලයා මේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කළා. එම හඬපට දැන් සැසඳී තිබෙනවා. තාමත් නියෝජ්‍ය පොලිස්පතිවරයා හෝ පොලිස්පතිවරයාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරලා නැහැ.

ලක්ෂ්මන් කදිර්ගාමර් විදේශ ඇමැතිවරයා මරා දැමූ, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමැතිවරයා මරා දැමීමට කටයුතු කළ කොටියාට වන්දි දෙනවා ආණ්ඩුවෙන්. මේක රටක්ද.

රට බේරගන්න සටන් කරපු රණවිරුවන් හිරේ දානවා. කොටි ත්‍රස්තවාදීන්ගේ පවුල්වලට වන්දි දෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් යුද්ධයෙන් බැටකාපු පුද්ගලයන්ට වන්දි ලබාදීමට අපි විරුද්ධ නැහැ.

රණසිංහ ප්‍රේමදාස මහතාව මරා දාපු බාබුගේ පවුලේ අයට වන්දි දෙන්න සජිත් ප්‍රේමදාස මහතා අත උස්සනවා. ගාමිණී දිසානායක මහතාව මරා දාපු කොටියගේ පවුලට වන්දි දෙන්න නවීන් දිසානායක අත උස්සනවා. මෙහෙම පුත්තු ලබන්න තාත්තලා මොන තරම් පින්වන්ත වෙන්න ඕනද.

රටේ ආර්ථිකය කඩා වට්ටලා තිබෙනවා. අගමැතිවරයා පොරොන්දු වෙලා ඉවරයි ඉන්දියාවටයි ජපානයටයි කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය ලබාදීමට. කැබිනට් එකේදී ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ කැබිනට් පත්‍රිකාව ගෙන ආ උදවිය අතර මතභේදයක් ඇති වෙලා තිබෙනවා. සාකච්ඡාව අවසන් වූ වහාම අගමැතිවරයා ඉන්දියාවේ හින්දු පුවත්පතට පවසා තිබෙනවා ජනාධිපතිවරයා විරුද්ධ වූ නිසා ඉන්දියාවට එය ලබාදීමට නොහැකි වූ බවට.

බලය ලැබෙනවා නම් මේ රටට ඕනම විනාශයක් කරන ආණ්ඩුවක් මේක. මේ දේශද්‍රෝහී තක්කඩි රැළත් එක්ක මේ රටට හුස්ම ගන්න බැහැ.

ඉෂාරා සිල්වා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon