භාරකාර ආණ්ඩුවකට ගියොත් මහින්දට වෙන්නේ කඩුල්ලට තියලා අමුඩේ ගහනවා වාගේ වැඩක්

  👤  3175 readers have read this article !
By mawbima 2018-10-18

භාරකාර ආණ්ඩු යෝජනාවට මහින්ද රාජපක්ෂ මහතා කැමැති වුවහොත් ඔහුට සිදුවන්නෙ කඩුල්ලට තියල අමුඩෙ ගහපු වැඩේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස පසුගියදා මතුගමදී කීවේය.

බදු බර ජනතාව මත පටවමින් රටේ සම්පත් විකුණාගෙන කන ආණ්ඩුවේ වැඩපිළිවෙළට විරෝධය දැක්වීම සඳහා ලබන 23 දින කොළඹදී පවත්වන විරෝධතාව පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා මතුගම නගරයේ අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහනට එක්වෙමින් වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙසේද කීවේය.

තනිව ඡන්දයට ඉදිරිපත් වෙලා ජයගන්න පුළුවන් පොහොට්ටුවේ ඉන්න කිසිම කෙනකු මේ භාරකාර ආණ්ඩුවලට කැමැති නැහැ. බැසිල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග, කුමාර වෙල්ගම, රෝහිත අබේගුණවර්ධන ආදී අය මේ භාරකාර ආණ්ඩුවට ප්‍රසිද්ධියේම විරෝධය පළකර තිබෙනවා.

මේක තනිකරම මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්දවලින් ගොඩයන්න උත්සාහ කරන දේශපාලන කිනිතුල්ලන්ගේ උප්පරවැට්ටියක්. මේ මහින්ද රාජපක්ෂව හිර කරන්න හදන වැඩ පිළිවෙළක්. දේශපාලන කරළියේ දශක ගණන් හිටිය මහින්ද රාජපක්ෂ මහතා මේ උගුලට අසුවේවි යැයි අපි හිතන්නෙ නැහැ.

භාරකාර ආණ්ඩු මාතෘකාව දේශපාලන කරළියට ගෙනත් තියෙන්නෙ දේශපාලන කිනිතුල්ලො පිරිසක් විසිනුයි. මේ අය බලන්නෙ කාගෙ හරි පිටේ නැඟලා ලේ උරා බොමින් පෝෂණය වීම මිසක් රට ගැන, ජනතාව ගැන හිතන එක නෙවෙයි. මෙහෙම දේශපාලන කිනිතුල්ලො විටින් විට බිහි වෙනවා. දැන් ඉන්න මේ දේශපාලන කිනිතුල්ලො කල්ලිය කාලයක් ගෝඨාභය රාජපක්ෂව අල්ලගෙන හිටියා. ඒක හරි නොගිය නිසා මේගොල්ල දැන් මෛත්‍රිපාල සිරිසේන මහතාව අල්ලගන්න උත්සාහ කරනවා. භාරකාර ආණ්ඩු යෝජනාව ගේන්නෙ මේ සඳහායි.

මේ ආණ්ඩුව ජනතාව මත බර පටවමින් යන ගමනට පැහැදිලිව විරෝධයක් ප්‍රකාශ කළ යුතුයි. ඉතිහාසයෙ පළමු වතාවට යූ.එන්.පී. ශ්‍රී ලංකා දෙක එකතු වෙලා හදපු ආණ්ඩුවට ලබන ජනවාරි මාසෙට අවුරුදු හතරක් වෙනවා. ආණ්ඩුව පත්වෙනකොට ජනතාවට සහන රැසක් දෙන බවට පොරොන්දු වුණා. ඒ අතර ආර්ථිකය ගොඩඟනව කිව්වා. බදු අඩු කරනවා. බඩු මිල අඩු කරනවා. තෙල් මිල අඩු කරනවා. කර්මාන්ත ඇති කරනවා. රැකියා ලබා දෙනවා කියලා කිව්වා. නමුත් අද වනවිට රනිල්, මලික්, මංගල ආර්ථික ප්‍රතිපත්තිය මේ රට දරුණු ආර්ථික ප්‍රපාතයකට ඇද වට්ටල තියෙනවා. මේ ආණ්ඩුවට රට ගොඩනඟන්න බැහැ. ආණ්ඩුව අසමත් කියලා පෙන්නල තිබෙනවා.

මේගොල්ල හදල තියෙන මිල සූත්‍රය අනුව දිනපතා තෙල් මිල ඉහළ යනවා මිස ජනතාවට සහනයක් ලැබෙන්නෙ නැහැ. හැමදාමත් නඟින මේ සුත්‍රයට ජනතාව කියන්නෙ කාම සූත්‍රය කියලයි. බදු ගහල, දඩ ගහල, ආණ්ඩුව භාණ්ඩාගාරය පුරවනවා.

මේ විදියට සූරාගන්න බදු මුදල් රටේ අධ්‍යාපනයට, සෞඛ්‍යයට, සංවර්ධනයට යොදවන්නෙ නැහැ. ජනතාවගෙන් සූරාගත්ත මේ බදු සල්ලි ටික තමන්ගේ සුඛවිහරණයට යොදාගන්නවා. ජනතාවට පටි තද කරගන්න, ඉවසන්න කියන ආණ්ඩුව මැති ඇමැතිලාට ලබාගන්න පුළුවන් යාන වාහන වරප්‍රසාද කිසිවක් අඩු කරන්නෙ නැහැ. පෙට්රල් ලීටරයට රුපියල් 40ක බදු ගහන ආණ්ඩුවෙ අගමැති රුපියල් ලක්ෂ 6000ක් වැය කරලා වාහන දෙකක් ගෙන්වා තියෙනවා. ඒ වගේම මේ ඇමැතිවරු ලක්ෂ 440කට වඩා වටිනා වාහන මාසෙන් මාසෙට ගෙන්වනවා. එම නිසා ප්‍රජා පීඩක රනිල්, මලික්, මංගල ආර්ථික ක්‍රමය පලවා හැරීමට මේ ආණ්ඩුවට විරෝධය පළ කරනවා.

බදු වැඩි කරන නිසා බඩු මිල වැඩි වෙනවා. බඩු මිල වැඩි කරන්න බදු වැඩි කරන මේ ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය ගොඩනැඟී තිබෙනවා. මේ ආණ්ඩුවට තිබෙන එකම විසඳුම රටේ දේපළ විකිණීම පමණයි. විකිණීම හැර වෙන ආර්ථික න්‍යායක් මෙයාලා දන්නෙ නැහැ.

වංචනිකයො, දූෂිතයො අල්ලා දඬුවම් කරනවා කියලා ජනතාවට පොරොන්දු දුන්නා. දැන් වංචාකාරයො, දූෂිතයො ආණ්ඩුවෙ ඔඩොක්කුවේ වැටිලා තියෙනවා. දඬුවම් කරන පාටක් පේන්න නැහැ. ඒ නිසා මේ සියල්ලට විරෝධය ප්‍රකාශ කරලා රටේ ජනතාවගේ ජන බලය පෙන්නුම් කිරීමට ඔක්තෝබර් 23 හවස කොළඹදී විරෝධතාව පවත්වනවා.

සමහර කණ්ඩායම් ආණ්ඩු විරෝධය පවා තමන්ගේ වංචා මල්ලට දාගන්න උත්සාහ කරනවා. ජනතා බලය කියන්නෙ ශේ්‍රෂ්ඨ, උතුම් දෙයක්. නමුත් පසුගිය කාලයේදී ජනතා බලය විහිළුවකට පත්කර ගත්තා.

මතුගම - වසන්ත කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon