මේක මහ පොළොව නුහුලන අපරාධයක්

  👤  3254 readers have read this article !
By mawbima 2018-10-18

දෙහිඅත්තකණ්ඩිය, උත්තලපුර ගම්වැසියෝ සද්දබද්ද නැතිව ගොවිතැනින් ජීවිතය ගත කළ පිරිසක් වූහ. වික්ටෝරියා ජලාශයට ඉඩම් පරිත්‍යාග කොට පැමිණි ඔවුහු උත්තලපුර පදිංචි වූහ. මෙම ගම්මානයේ අංක 82 පදිංචි ආර්.එම්. නාමල් ප්‍රියන්ත වෑල්ඩින් රස්සාවෙන් බිරියත් දරු තිදෙනාත් පෝෂණය කළේය. තම සොහොයුරාගේ නිවෙසේ වහලය සකස් කර පස්වරු 5ට පමණ වර්ෂාව මැද්දේ බිරිය හා බාල දරුවන් දෙදෙනා සමඟ යතුරුපැදියට ගොඩ වුණේ හෙට දවස ගැන දහසක් බලාපොරොත්තු ඇතිවය. ඔහු යතුරුපැදියට ගොඩවීමට අකැමැති වූ ලොකු පුතා බලෙන්ම යතුරුපැදියට නංවාගෙන අන්තිම ගමනට ගියේය. තම නිවෙස පෙනෙන මානයේ වුවත් ටිපර් මාරයා නිවෙසට යෑමට ඉඩ නොදුන්නේය.

උත්තලපුර විහාරාධිපති විද්‍යාඥාන පරිවේණාධිපති රජගම උපනන්ද හිමියෝ මෙසේ පැවැසූහ.

"උත්තලපුර ගමට හිටපු ගමේ හැමදෙනාටම උදවු උපකාර කරපු හොඳම සමාජ සේවකයා නාමල් ප්‍රියන්ත. ගමේ පන්සලේ පොසොන් පෝය දිනයේ ලොකුම දන්සල දෙන්නේ මේ අයයි. මියගිය නාමල් කවදාවත් මත්පැන් දුම්වැටි භාවිත කළේ නැහැ. වත්මන් තරුණ පරපුරට ආදර්ශයට ගත හැකි උත්සාහවන්ත කෙනෙක්. හැම දෙනාගේම හිත දිනාගෙන කටයුතු කළ මේ වගේ කෙනෙක් මම ජීවිතේට දැකලා නෑ. විහාරස්ථානයට, ගමට, සමිති සමාගම්වලට මෙම අය උදවු උපකාර කර තිබෙනවා. මෙය මහ පොළොව නුහුලන අපරාධයක්. බිරිය සහ දරුවොත් හරිම අහිංසකයි. මියගිය 14 වියැති පුතා ළදරු පාසල් දරුවකුටත් වඩා කීකරුයි.

උත්තලපුර විදුහලේ හතර ශේ්‍රණියේ පන්ති භාර නයනා තෙන්නකෝන් ගුරු මහත්මිය අදහස් දක්වමින්,
"මියගිය සසිදු ලැවරිය දෙකක් ගෙනැවිත් මට එකක් දීලා එයත් එකක් කාලා ලබන සඳුදා එනවා කියලා ගියේ. මගේ මේසය ළඟම ඩෙස් එක තියාගෙන හිටියා. හොඳ ගුණ යහපත් දරුවෙක්. අම්මයි තාත්තයි දෙදෙනාම පාසලේ තිබෙන සෑම දෙයකටම ඇවිත් උදවු කරනවා.

ඒ අම්මා කවදාවත් කාගෙන්වත් වචනයක් අහලා නැහැ. හරිම සතුටින් හිටපු කාගෙන්වත් කිසිම දිනක ‍ෙදාසක් අහලා නැති අහිංසක පවුලක්. මියගිය තාත්තා පන්තියේ වැඩවලට ගොඩක් උදවු කළා. මියගිය දරුවා ක්‍රීඩාවට උපන් හපන්කම් ඇති දරුවෙක්. මියගිය දිනයේ රාත්‍රි 10 වනතුරු මම රෝහලට වෙලා ඇඬුවා. අදත් මම අඬනවා. මේ කඳුළු බොරුවට අඬන කඳුළු නෙවෙයි. මේ තරම් හොඳ කරන අයට මේ වගේ දේවල් සිදුවන්නේ ඇයි?" ඇය හඬමින් පැවැසුවාය.

උත්තලපුර පදිංචි ඒ.එම්. පාලිතරත්න මහතා මෙසේ කීය.
"මියගොස් සිටින්නේ මගේ අක්කාගේ පුතා සහ දරුවෝ තුන්දෙනා. මියගිය පුතා උත්සාහයෙන් වෑල්ඩින් වැඩ කරමින් යකඩ වහල හදමින් උත්සාහයෙන් දියුණු වුණු කෙනෙක්. ඕනෑම කෙනකුගේ දුකට පිහිට වෙනවා. කිසිදු ලියවිල්ලක් නැතිව ඕනෑම අයකුට ණයට මුදල් දෙනවා.

අනතුර සිදුකළ ටිපර් රථයේ අයිතිකරු මියගිය පුතාගේ හොඳම යාළුවා. නාමල් පුතාට ඔහුගේ බිරියට ගමේ අය හරිම ආදරෙයි. මේ අය කාටවත් කරදරයක් නැතිව සිටි පවුලක්. මෙම අනතුර වන අවස්ථාවේ දුවගේ කරේ තිබූ රත්රන් මාලය, වළලු පවා අතුරුදන් වී තිබෙනවා.

බිරියට දරුවන්ට කිසි මොහොතක අඩුපාඩුවක් කළේ නැහැ."
උත්තලපුර පදිංචි ආර්.එම්. අනුරාධ ප්‍රියන්ත මෙසේ අදහස් දැක්වීය.

"මියගොස් ඇත්තේ මගේ මල්ලි සහ පුතුන් තුන් දෙනයි. මල්ලි මියගිය දිනයේ මගේ වහලයේ වැඩ කළා. හවස්වරුවේ මෙයා හරිම කනස්සල්ලෙන් හිටියා. මම ඇහුවට ඒ දෙය කිව්වේ නැහැ. මහන්සියට එහෙම දෙයක් සිදුවෙනවා ඇති කියලා මම හිතුවා. ලොකු පුතා යතුරුපැදියේ යන්න බැහැ කියද්දී බලෙන් වගේ දාගෙන ගියා. මගේ නිවෙස හදන්න මල්ලියි එයාගේ නෝනයි හරියට මහන්සි වුණා. මට දුක මල්ලියි දරුවොයි එකටම අවසන් ගමන් යෑමයි. මල්ලිගේ හිත හොඳ නිසා එයා හැමෝටම සල්ලි දෙනවා. මල්ලි අනතුරට පත් කළ ටිපර් රථයේ හිමිකරු වූ සමන් එයාගේ හොඳම යාළුවා වෙලා හිටියා. සමන් මුහුදු මාළු විකුණන නිසා මල්ලිත් ඔහු සමඟ ගොස් මාළු විකුණන්න ඔහුට උදවු කළා. ඒ අය පෙට්ටි හතරකින් නිවෙසට එයි කියලා මම හිතුවේ නෑ.

උත්තලපුර පදිංචි ආර්. එම්. සුනිල් මහතා මෙසේ පැවැසීය.

"නාමල් මල්ලි මගේ අසල්වැසියෙක්. මියගිය මල්ලී ඉරිදා උදේ 8.30ට පමණ ළිහිණියාගම පොළට ආවා. මම ඉන්න විට අනතුර කළ සමන්ගෙන් සල්ලි ඉල්ලනවා මම බලාගෙන හිටියා. මට සල්ලි දෙන්න බැහැ. උඹ පුළුවන් දෙයක් කරපන් කියලා සමන් කිව්වා. සඳුදා උදේ නාමල් මල්ලි පොලිසියට යන බව මා ඉදිරිපිටදීම කිව්වා." ඔහු පැවැසීය.

මියගිය ආර්.එම්. නාමල් ප්‍රියන්තගේ මව වන කේ. එම්. අනුලාවතී මහත්මිය මෙසේ පැවැසුවාය.

"මගේ පුතා මට හොඳට සැලකුවා. උදේ කන්න බොන්න දීලා පහට විතර දරුවොත් අරගෙන ගිය පුතාට තමයි මේ කරදරය සිදු වුණේ. අම්මා කෙනෙක් විදියට මට දරාගන්න බැහැ"යි පවසමින් කළ ළතෝනි මළ ගෙදර සිටි සියලුදෙනාගේ නෙතට කඳුළක් එක් කළේය.

උත්තලපුර මරණාධාර සමිතියේ සභාපති ඩබ්.එම්. ධර්මදාස මහතා "මේක හරියට පටාචාර කතා වස්තුව වගේ. යතුරුපැදියක පහකට යන්න බැහැ. ඒ නිසාම රටට වටිනා ජීවිත 4ක් නැති වුණා.

මේ වගේ දේවලින් අපි පාඩම් උගත යුතුයි. දරුවෝ දාගෙන යන හැමෝටම මේ අය පාඩමක් කියා දී තිබෙනවා."

නවමැදගම - ශාන්ත වෙලගෙදර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon