ලේ නහර ඉරාගෙන සිපිරි මාලයෙන් එළිය දුටු යෝගා-අරුලනී ප්‍රේමයේ නාමය

  👤  3065 readers have read this article !
By mawbima 2018-10-18

ආදරය පිළිබඳව ඇසෙන කතන්දර බොහෝය. ඒවායින් සමහරක් සුන්දර වුවත් තවත් ඒවා කටුකත්වයෙන් පිරුණු ආදර කතාය. සෙල්වනායගම් අරුලනීගේ ආදර කතාව වසරකින් නිමාවට පත් වූවත් එය ඉතාම සුන්දර ආදර කතාවකි.

ආදරයෙන් බැඳුණු අරුලනී ආදරයෙන් වෙන් වීමට දැක්වූ අකැමැත්ත නිසාම ඇයට විවිධ බාධක කම්කටොලු රැසකට මුහුණ පාන්නට සිදුවිණි.

නමුත් කාලයාගේ ඇවෑමෙන් පසුව වසර විසි අටක් ඉකුත් වූ තැන යළිත් වරක් මේ දිරිය කාන්තාවට ආදරයේ සතුට පහස විඳින්නට අවස්ථාව උදා විණි. ඒ සැබෑ ආදරය නිසාමය.
1965 වසරේ මාර්තු 26දා අරුලනී උපත ලබන්නේ යාපනයේ කන්කසන්තුරේ පළාතට නුදුරින් පිහිටි චුන්නාකම් ගම්මානයේදීය.

'මම ඉස්කෝලේ ගියේ ගමේ තිබුණු කලෙයිමගල් රජයේ පාසලටයි. සාමාන්‍ය පෙළ විභාගෙත් පාස් වුණාට පස්සේ මම ආයේ ඉස්කෝලේ ගියේ නෑ. ගමේම තැනක ඇඳුම් මහන වැඩතමයි කරගෙන හිටියේ. එතැන හොඳට දියුණු වුණා. අවසානයේදී මම කළේ ඇඳුම් කපන එක විතරයි. ළමයි දහයක් ‍ෙදාළහක් දාලා ඇඳුම් මැස්සුවා. ඒ අයට කෑලි ගාණට ගෙව්වා.

මෙහෙම ඉන්නකොට තමයි 1987දී යුද්දෙන් අපේ සේරම දේවල් නැති වුණේ. අවසානේදී තාත්තා තීරණය කළා ඉන්දියාවට යන්න. මන්නාරමට ගිහින් එහෙන් තමයි මාළු බෝට්ටුවල ආධාරයෙන් ඉන්දියාවට අපි පැනලා ගියේ. අපි ගිහින් සතියක් විතර යනකල් එහිදී පුදුම දුකක් වින්දා. හරියට කෑම පවා ලැබුණේ නෑ. ඒත් ටික දවසක් යනකොට අපිට ජීවත් වෙන්න තැනක් ලැබුණා. කෑම බීම ලැබුණා. තාත්තයි අම්මයි පොඩි රස්සාවලුත් කළා.

තමිල්නාඩුවේ මණ්ඩපම් අනාථ කඳවුරේ ඉන්න අතරේ මට එහෙ මිතුරියක් එකතු වෙලා හිටියා. ඇගේ නම මධුරී. එයා නිතරම එනවා මාව බලන්න. එයාලට සාමාන්‍ය මට්ටමේ ඇඳුම් කඩයක් තිබුණා තමිල්නාඩු නගරයේම. මම ඒකේ වැඩට ගියා.

දවසක් මට හිතුණා මම යාපනයට වෙලා කරපු ඇඳුම් මහන රස්සාව මෙහෙත් කරන්න පුළුවන් නේද කියලා. මම මේක මධුරිට කිව්වාම එයා මුලින් කැමැති වුණේ නැහැ. ඒත් පස්සේ දවසක එයා මට ඒක කරන් යන්න සල්ලි දුන්නා. මම ඉන්න තැනම පොඩියට ඇඳුම් මහන්න ගත්තා.

දවසක් මම රෙදි ගන්න නගරේ කඩේකට ගිහින් එක එක වර්ගයේ රෙදි ගන්න කොට ඒ කඩේ අයිතිකාරයා මගෙන් ඇහුවා,
'ඔයා විතරයි මේ ජාතිවල රෙදි ගන්නේ මෙහෙ අය නම් ඕව්වා නිකන් දුන්නත් ගන්නෙ නෑනේ. ඔයා මෙහෙ කෙනෙක් නෙවෙයිද?' කියලා.

මම කිව්වා 'නෑ මම ලංකාවේ යාපනේ කෙනෙක්. යුද්දේ නිසා තමයි මෙහාට ආවේ කියලා'

මේ තමයි යෝගගෙයි මගෙයි මුල්ම දෙබස වුණේ.

කොහොම හරි මගේ ඇඳුම් මහන වැඩේට යෝගා උදවු කළා. ඒ අතරේදී අපි ආදරවන්තයෝ වුණා.

1989දී අපි දෙන්නා විවාහ වුණා. යෝගා හරිම ආදරණීයයි. කරුණාවන්තයි. මට ගොඩක් ආදරෙයි. මමත් යෝගාට පණ වගේ ආදරේ කළා.

අරුලනී මේ කතාව දිගහරින්නේ ඉන්දීය මාධ්‍යවේදීන් පිරිසක් ඉදිරියේය. ඇගේ විවාහ දිවිය පිළිබඳ වූ මතකය යළි අවදි වන්නේ වසර විසි අටකට පසුව වුවත් අරුලනීගේ මුහුණෙන් ඇස්වලින් ප්‍රකාශිත හැඟීම් ඒ මොහොතේදීත් ඇයව ප්‍රීති ප්‍රමෝදයෙන් තබන්නට සමත් විය.

'අපිට එහෙම ආදරෙන් අවුරුද්දක්වත් ඉන්න ලැබුණේ නෑ. මගෙන් ඇඳුම් අරන් යන්න ආව කොල්ලෙක් මගේ අතින් ඇදලා මාව බිම පෙරළ ගත්තා. යකෙක් වගේ ඔහු මාව දූෂණය කරන්න උත්සාහ කළා. මම ඒකාව හැපුවා. පයින් ගැහුවා. කොහොම හරි බේරිලා මම පැනලා දිව්වා. එයා යන්න ගියා.

යෝගා ගොඩක් කරුණාවන්ත නිසා මම ගොඩක් කල්පනා කරලා රෑ මේ කතාව යෝගාට කිව්වා. කවදාවත් තරහා යන්නේ නැති යෝගාට හොඳටම තරහා ගියා.
ආදරෙන් මාව තුරුලු කරන් ඇහුවේ ඔයාට උෟ කරදරයක් කළේ නෑ නේද? කියලා විතරයි.

අපි යමු කියලා ඒ වෙලාවෙම යෝගා නැඟිට්ටා. කොහෙද? කියලා මම ඇහුවාම කිව්වෙත් 'අපි යමුකෝ' කියලා විතරයි.

යෝගා මාවත් එක්කගෙන මහ රෑම අර කොල්ලගේ ගෙදරට ගියා. ඒ කොල්ලා විතරයි හිටියේ. පොඩ්ඩක් කතා කරන්න ඕනේ වරෙන් කෝ කියලා එයත් එක්ක එළියට ගියා. මට කිව්වා ඔතනම ඉන්න කියලා. මම හිටියා. පැය භාගෙකට විතර පස්සේ ඇවිත් එයා කිව්වා අපි යමු කියලා.

මම ඇහුවා මොකද වුණේ කියලා. නෑ... නෑ.. ආයි ඔයාට උගෙන් කිසිම කරදරයක් වෙන්නේ නෑ. අරූ..........කියලා එයා මගේ අතින් අල්ලා ගත්තා.

මට අතේ සීතල ගතියක් දැනුණා. මම ෆෝන් එකේ ලයිට් එක ගහලා බලන කොට තමයි දැක්කේ යෝගාගේ අතෙයි ඇඟෙයි තැන් තැන්වල ලේ තියෙනවා.

මම මේ මොකද කියලා ඇහුවාම යෝගා කිව්වා මම අරූව මැරුවා.. මරලා ළිඳේ දැම්මා කියලා. මම මහ පාරෙම අඬන්න ගත්තා.

මෙහෙම දවස් දෙකක් අපි හැංගිලා හිටියා. පොලිසිය හොයන්න ගත්තා. මම අවසානයේදී යෝගාට කිව්වා ඔයා මේකට හිරේ යනවා. මම එතකොට තනි වෙනවා මට එහෙම ඔයා නැතිව තනියම ඉන්න බෑ. මමත් එනවා ඔයා එක්ක හිරේට යන්න කියලා.

යෝගා මේකට කැමැති වුණේම නෑ... මම එක හෙළාම කිව්වේ මමත් ඔයත් එක්කම හිරේ යනවා කියලමයි.

පහුවදා උදේම මම යෝගාත් එක්ක පොලිසියට ගියා. ගිහින් කිව්වා මට කරදර කරන්න මිනිහෙක් ආවා මම යෝගයි දෙන්නම එකතු වෙලා එයාව මරලා ළිඳකට දැම්මා කියලා.පොලිසිය ඒ වෙනකොට ඒ කොල්ලගේ මිනිය හොයාගෙන තිබුණා. අපිව අත්අඩංගුවට අර ගත්තා. අපි දෙන්නවම ජීවිතාන්තය දක්වා හිරේට නියම වුණා'

අරුලනී මේ තීරණය ගන්නා ලද්දේ යෝගා සමඟ එකට හිරේ සිටින්නට වුවත් ඉන්දීය නීතියත් හිර ගෙවල්වල නීතියත් අනුව දෙන්නාට සිදුවූයේ හිර ගෙවල් දෙකක කල් ගෙවන්නටය. මුලදී නඩු වාරවලදී අරුලනීට යෝගාව දැක ගැනීමට ලැබුණත් අවසන් වරට නිකුත් වූ නඩු විභාගයේ තීන්දුවෙන් පසුව දෙදෙනාම හිර ගෙවල් දෙකකට වෙන් කළේ ජීවිතාන්තය දක්වාමය.

නඩු තීන්දුව ඇසීමෙන් පසුව මිනී මරන්නට හවුල් නොවූවත් අරුලනී යෝගාට තිබූ ආදරය නිසාම හිරබත් කන්නට ගියේ මහා හයියෙන් විලාප තබමින් හඬමිනි.

ජීවිතාන්තය දක්වා නියම වූ සිර දඬුවම් කාලය දිනෙන් දින ගෙවී යද්දී අරුලනී කෙසේ හෝ මේ උගුලෙන් බේරීමට උපායක් කල්පනා කළාය.

අරුලනීගේ සිර මැදිරියට යාබද සිර මැදිරියක සිටියේ රජීව් ගාන්ධි මහතා ඝාතනය කිරීමේ වරදට වැරැදිකාරියක වී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින සෂි නමැති කාන්තාවකි.

හිරගෙදර කෑම පෝලිමේදී උදෑසන වතුර ටැංකිය අසලදී නිතර නිතර මේ දෙදෙනා හමුවීම නිසා කාලයත් සමඟ ඔවුනොවුන් අතර මිතුදමක් ඇති විය.

රජීව් ගාන්ධි මහතා ඝාතනය සම්බන්ධයෙන් වූ නඩු තීන්දුව පිළිබඳ බොහෝ මතභේදයන් ඉස්මතු වීමත් රජීව් ගාන්ධි මහතාගේ පවුලේ සාමාජිකයෝ ඝාතයකයන්ට සමාව දීමට කැමැත්ත පළ කිරීමත් නිසා මේ ගැන කතිකා කිරීමට නිතර නිතර තරුණ නීතිඥවරියක් සෂි හමුවීමට බන්ධනාගාරය තුළට යන්නට එන්නට විය.

අරුලනී ක්‍රමයෙන් ඒ නීතිඥවරිය හඳුනාගෙන තමන්ගේ ජීවිත කතාව ඇයට කියමින් යම් සහනයක් සලසා දෙන ලෙස ඉල්ලා සිටියාය. තරුණ නීතිඥවරිය එය ඉටු කරදෙන බවට පොරොන්දු වුවත් නීතිඥ ගාස්තු වශයෙන් එක රුපියලක්වත් නොගෙවා මොන නඩු කතා කිරිල්ලක්ද යන සිතිවිල්ල නිතරම පාහේ අරුලනීගේ මනසේ හොල්මන් කළාය.

නමුත් කාලයත් සමඟ ගෙවුණු මේ දිවියේදී තරුණ නීතිඥවරියගේ කැපවීම මත අරුලනීට මීට වසර තුනකට ඉහතදී නිදහස ලැබිණි. නිදහස ලද අරුලනී යෝගා බැලීමට හිර ගෙදරට අවස්ථා කිහිපයක්ම ගියද ඒ එකම අවස්ථාවකදීවත් ඇයට යෝගාව දැක ගන්නට නොලැබිණි.

නීතිඥවරියගේ මැදිහත් වීමෙන් එකම එක දවසක් අරුලනීට යෝගාව දැකීමට ඉඩ සැලසුණත් ඒ ඔවුනොවුන් ඉතාම සමීපව නොවේ. යෝගාව කැටුව ආ බන්ධනාගාර නිලධාරීන් මඳ දුරක් තබා අරුලනීට යෝගාව පෙන්වන විට අරුලනී බන්ධනාගාරය තුළ විලාප තබන්නට වූයෙන් යෝගා ඇයට දෘශ්‍යමාන වූයේ තත්පර කිහිපයකි.

එහෙත් ඉකිබිඳ හඬමින් විලාප තබන අවස්ථාවේදීත් අරුලනී යෝගාට ඇසෙන්නට මහ හයියෙන් කියා සිටියේ 'යෝගා මම ඔයාව කොහොම හරි බේර ගන්නවා' යනුවෙන්.

බන්ධනාගාරයෙන් එළියට පැමිණි අරුලනී තරුණ නීතිඥවරියගේ දෙපා අල්ලා වැඳ වැටෙමින් ඉල්ලා සිටියේ තමාට යෝගාව නිදහස්කොට දෙන මෙන් ඉල්ලමිනි. මේ දසුන දුටු අවට පිරිස කතාව කුමක්දැයි නොදන්නා නමුත් ඔවුන්ගේ දෑස්වලට කඳුළු උනා තිබිණි.

අරුලනීව අස්වසාලමින් නැඟිට වූ තරුණ නීතිඥවරිය 'මම යෝගාවත් නිදහස් කරලා දෙන්න බලන්නම්' යැයි පැවැසූ විට අරුලනී නීතිඥවරිය බදාගෙන 'මගේ අම්මා.......මගේ අම්මා....' යනුවෙන් මහ හ¾ඩින් කෑගසා තිබේ.

තරුණ නීතිඥවරිය අරුලනීට වූ පොරොන්දුව ඉටු කරන්නට අවශ්‍ය මූලික කටයුතු පිළියෙල කළාය. නඩු වාර්තා සිය වියදමින් ලබාගෙන ඇය මේ නඩුව වෙනුවෙන් ඉන්දීය අධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කොට වසර දෙකක් පමණ යෝගා නිදහස් කර ගැනීමේ සටනක නියැළුණාය.

තරුණ නීතිඥවරියට අරුලනීගේ අපේක්‍ෂාව මුදුන්පත් කොට දීමට හැකියාව ලැබිණි.

ඉන්දීය අධිකරණය යෝගාගේ ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම ලිහිල් කළේය.

පසුගිය අගෝස්තු මස 15දාට යෙදී තිබුණු ඉන්දීය නිදහස් දිනයේදී යෝගාගේ නම සිරකරුවන් නිදහස් කිරීමේ ලේඛනයට ඇතුළත් වී තිබිණි. ඒ අනුව සිදු කෙරුණු සෙසු නීතිමය කටයුතුත් සමඟින් පසුගියදා යෝගාට නිදහස ලැබිණි.

වසර විසි අටකට පසුව යෝගාට අරුලනීත් අරුලනීට යෝගාත් ඔවුන්ව ආදරයෙන් මුණගැස්වූ භාරත භූමියේදීම යළි ආදරයෙන් මුණගැස්වීය. ඉන්දීය මාධ්‍යවේදියෝ සිය ගණනක් මේ දසුන දැක බලා ගැනීමට පැමිණ සිටියහ. මුලින්ම බන්ධනාගාරයෙන් එළියට පැමිණි යෝගා දෑත් දිගු කරගෙන අරුලනී වෙත දිව එන විට අරුලනී යෝගාගෙන් විමසුවේ,
'මාමා ඔංගලකු එප්පඩි' (මාමා ඔයාට කොහොමද?) යනුවෙනි.

සිංහල භාෂාවත් දෙමළ භාෂාවත් යන භාෂා දෙකෙන්ම මේ දෙබස විග්‍රහ කරන විට ඉන් කිසිදු සංවේදී බවක් නොදැනේ. ඊට හේතුව මාමා කී සැණින් ආදරයට වඩා ධ්වනිත වන්නේ ඥාති බැඳීමක් නිසාය.

නමුත් තමිල්නාඩුවේ දෙමළ භාෂාවේ අනුව මේ දෙබස වත්මන් ආදරවන්තයන්ගේ භාෂාවෙන්ම සටහන් කළහොත් 'මගේ චූටි පැටියෝ ඔයාට කොහොමද?' වැනි අර්ථයකි.
උතුරා යන සතුටෙන් සිටි යෝගා අරුලනීගෙන් විමසුවේ 'නීංගල් සාපිටින්ගලා' යනුවෙනි.

මෙහි සරල අදහස ඔයා කෑවද? යන්න වුවත් එහි ගැබ්ව ඇත්තේ වචන ලක්‍ෂයකින් හෝ කියා නිම කළ නොහැකි ආදරයකි. දෙදෙනාගේම මේ දෙබස් සමඟ එකිනෙකා තරයේම වැලඳ ගෙන ඔවුනොවුන් ඉකි ගසන්නට වූයේ සතුට දුක යන සියල්ලේම සම්මිශ්‍රණය මතය.

මේ ආදර දෙබසත් ඔවුන්ගේ ආදරය දෙසත් බලා සිටි පිරිස සතුටු වී ඇත්තේ ඔවුන්ගේ දෙකොපුල් හරහා රූරා වැටුණු කඳුළු බින්දුත් සමඟිනි. ඉන්දීය මාධ්‍යවේදීහුද මේ සංවේදී මොහොතේ කඳුළු සැලූහ.

අරුලනීගේත් - යෝගාගේත් වසර විසි අටක මේ ප්‍රේම කතාව ඉන්දියාවේ චිත්‍රපට සමාගමක් විසින් චිත්‍රපටයකට නැඟීමටද කටයුතු කරගෙන යයි.

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon