ජාතික ආහාර ප්‍රතිපත්තියක් රටට අවශ්‍යයි

  👤  2977 readers have read this article !
By mawbima 2018-10-18

ආහාර සුරක්ෂිතතාව, ආහාර ප්‍රවර්ධනය මෙන්ම සෞඛ්‍ය සම්පන්න ජනතාවකට අවශ්‍ය ආහාර සැපයීම සම්බන්ධයෙන් රාජ්‍ය ප්‍රතිපත්ති තුළ සැලසුම් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ "2030 වනවිට කුසගින්නෙන් තොර ලොවක්" යන තේමාව යටතේ පෙරේදා (16දා) කොළඹදී පැවැති ලෝක ආහාර දින සැමැරුම් උත්සවයට එක් වෙමිනි.

ලෝක ආහාර දිනය නිමිත්තෙන් පැවැති තරගාවලියේ ජයග්‍රහණය කළ පාසල් සිසුන්ට තිළිණ ප්‍රදානය කිරීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.

මෙම උත්සව අවස්ථාව ඇමතූ ජනාධිපතිවරයා මෙසේද පැවැසීය,
ලෝක ආහාර සංවිධානය ජාත්‍යන්තර ප්‍රජාවගේ සෞඛ්‍ය, ආහාර ප්‍රශ්න පිළිබඳ දැඩි කැපවීමකින් පුළුල් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනවා. මා දීර්ඝ කාලයක් කෘෂිකාර්මික හා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කර තිබෙන නිසා ලෝක ආහාර සංවිධානය පිළිබඳ මට පැහැදිලි අවබෝධයක් තියෙනවා. ලෝක ආහාර හා කෘෂිකාර්මික සංවිධානයට ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් ගෞරවනීය ස්තුතිය පිරිනමනවා මුළුමහත් ලෝක ප්‍රජාවගේ අත්‍යවශ්‍ය වූ සේවාවන් ඉෂ්ට කිරීමට දරන මහන්සියට.

ලෝක ජනගහනයෙන් මිලියන 200කට ආසන්න පිරිසක් ආහාර නැතිව කුසගින්නෙන් පෙළෙනවා. ඒ වගේම ආහාර නිෂ්පාදනය වගේම පිළියෙල කිරීම යන අංශ දෙකේදී විශාල ප්‍රමාණයක් විනාශ වෙනවා.

ධනවතුන් සිය ආහාර පරිභෝජනයේදී විශාල ප්‍රමාණයක් ඉවත දමනවා වගේම දෛනික ජීවත්වීමේ අසීරුකම් තිබෙන දුගී දුප්පත් ජනතාව ආහාර හිඟයකින් පෙළෙනවා. අපේ රටේ වැඩිපුරම ආහාර ප්‍රමාණයක් විනාශ කරන්නේ පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුවේ ආහාර හදද්දී ඒ දිනට අවශ්‍ය මන්ත්‍රිවරු නැහැ. හිටියත් සමහරු පාර්ලිමේන්තු කෑම නොකා යනවා. විශාල ආහාර ප්‍රමාණයක් ඉවත දානවා. අවුරුදු 27ක් අඛණ්ඩව පාර්ලිමේන්තුවේ සිටි නිසා මා එය හොඳින් දන්නවා.

අපේ රටේ ජනගහනයෙන් 16% - 17%ක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙනවා. අපේ රටේ නිෂ්පාදනය කරන ආහාරවලින් 1/3කට වැඩි ප්‍රමාණයක් 35%ක් සතුන් විනාශ කරනවා. වඳුරන්, රිළව්, වල් අලි, පක්ෂීන් විශාල ලෙස ආහාර විනාශ කරනවා. මීට සති දෙකකට පෙර එක්සත් ජාතීන්ගේ වාර්ෂික සමුළුවට සහභාගී වූ අවස්ථාවේදී ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනයේ විධායක අධ්‍යක්ෂවරයා මුණගැහුණා. ඔහු සමඟ කළ සාකච්ඡාවේදී අපේ රටේ වන ආහාර විනාශය ගැන කතා කළා. අපේ රටේ විද්වතුන් මා සමඟ ප්‍රකාශ කර තිබෙනවා ජීවත්වෙන මිනිසුන්ට තිබෙන ආහාර සතුන් විසින් විනාශ කරන ලෝකයේ එකම රට ලංකාව කියලා. මා විධායක අධ්‍යක්ෂවරයාගෙන් ඇහුවා ඒ පිළිබඳව ඔබේ අද්දැකීම් ඇසුරින් පැහැදිලි කිරීමක් කරන්න කියලා.

ඔහු එක්වරම මා සමඟ කිව්වේ සතුන්ව විනාශ කරනවා කියලා. අපේ රටේ බෞද්ධ සංස්කෘතිය, තවත් පැත්තකින් අනෙක් ආගමික ධර්මතාවන් පසුබිම් කරගෙන සතුන් විනාශ කිරීමේ ප්‍රතිපත්තිය බොහෝවිට ප්‍රතික්ෂේප කරන නිසා අපේ රටේ මිනිසුන්ට කන්න තියෙන ආහාර සත්තු විනාශ කරනවා. ඒ නිසා ලංකාවේත් අනෙක් රටවල ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි කියන එකයි මගේ හැඟීම. ඒකට නොයකුත් විවේචන එල්ල වෙන්න පුළුවන්. නමුත් මිනිසුන් බඩගින්නේ ඉඳලා සත්තු ආහාර විනාශ කරන පසුබිමක් රටක ගොඩනැඟෙන්න දෙන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපි ආහාර නිෂ්පාදනය, ආහාර සුරක්ෂිතතාව, ආහාර ප්‍රවර්ධනය, සෞඛ්‍ය සම්පන්න ජනතාවකට අවශ්‍ය ආහාර සැපයීම යන කරුණු සම්බන්ධයෙන් රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ ක්‍රියා කිරීම ඉතාමත් අත්‍යවශ්‍යයි.

අප කෘෂිකාර්මික රටක් විදියට දීර්ඝ කාලීන අත්දැකීමක් සමඟ ආහාරවලින් ස්වයංපොෂිත ජාතියක්. ආහාරවලින් ස්වයංපෝෂිත ජාතියක් වුවත් එක් පැත්තකින් 1/3ක් සතුන් විනාශ කිරීමත් තවත් පැත්තේ කාලගුණික විපර්යාස නිසා ඇති වන ස්වාභාවික ආපදා තත්ත්වයන් බලපනවා.

අද බස්නාහිර පළාතේ ඉන්න අය හිතාගෙන ඉන්නේ රටේ හැමතැනම වහිනවා කියලා. නමුත් අදත් රටේ වර්ෂාව නැති ප්‍රදේශ තියෙනවා. වවුනියාවේ පැත්තේ තවමත් වැව් පිරෙන්න වැහැලා නැහැ. ඒ නිසා දේශගුණික හා කාලගුණික තත්ත්වයන් සැලකිල්ලට ගැනීම අවශ්‍යයි. විනාශ වන ආහාර සුරක්ෂිත කර ගැනීම අවශ්‍යයි. මන්දපෝෂණ තත්ත්වයන්, දුගීභාවයන් සැලකිල්ලට ගෙන ආහාර නිෂ්පාදනය වැඩි කිරීමත්, සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කිරීමට අවශ්‍ය වැඩසටහන් සකස් කිරීමත් ඉතාම අවශ්‍යයි.

පහන් විජේසේකර
ඡායාරූප - සරත් කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon