මහින්ද-මෛත්‍රි සාකච්ඡාවල කිසිම වැරැද්දක් නෑ

  👤  3056 readers have read this article !
By mawbima 2018-10-18

මේ ආණ්ඩුව සැලකිය යුතු වැඩ කොටසක් කර තිබෙන බවත්, අඩුපාඩු තිබුණත් ඒවා හඳුනාගෙන රටක් ලෙස ඉදිරියට යෑම ආණ්ඩුවේ බලපොරොත්තුව බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවැසීය.

මහින්ද අමරවීර මහතා මේ බව කියා සිටියේ ඔහුගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන 'වැව් දහසක් ගම් දහසක්' ජාතික වැඩසටහනට සමගාමීව පසුගියදා අම්බලන්තොට මල්පෙත්තාව කොට්ඨාසයේ ඔලුවිල වැව සංවර්ධනය කිරීමේ වැඩ ආරම්භ කිරීමේ වැඩසටහනට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවැසීය.

දැන් බොහෝ අය අහනවා මොකද වෙන්නේ කියලා. භාරකාර ආණ්ඩු, සභාග ආණ්ඩු ගැන අහනවා. ජී.එල්. පීරිස් මහත්තයා කියලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් අයින් වෙලා එනකල් මේවා ගැන කතා නෑ කියලා. ඒ මහත්තයාත් එක්ක කොහොමත් අපි කතා නෑ. ඒ මහත්තයා මොකක්වත් තනතුරක් දරන්නේ නෑනේ. හැමදාම පිනට පත්වෙන මන්ත්‍රිවරයෙක්නේ.

අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් හදන්න ජී.එල්. පීරිස් මහත්තයාලට තියෙන වුවමනාවට මේ රටේ ජනතාව ඉඩ දෙන්නේ නෑ.

අපිත් ඉඩ දෙන්නෙ නෑ. මේ ආණ්ඩුව අස්ථාවර ආණ්ඩුවක් හැටියට නෙවෙයි ස්ථාවර ආණ්ඩුවක් හැටියට රටට හොඳ දේවල් කරන්න තමයි අපිට අවශ්‍යතාව තියෙන්නේ. ඒ නිසා ඔහුගේ යෝජනාව ක්‍රියාත්මක කරන්න ඒක ප්‍රායෝගික යෝජනාවක් නෙවෙයි.

ඔහු හැමදාම ප්‍රායෝගික වැඩ නොකරපු කෙනෙක්. පළාත් සභා මැතිවරණෙත් අවුල් වෙලා තියෙන්නේ ඔහු ගෙනාපු යම් යම් ක්‍රමවේදයන් නිසා. ඒ ඉන්න කාලෙ දාපු බඩු බොහොමයක් පරාදයි. ඔහු නීති උපදේශක විදියට චන්ද්‍රිකා මැතිනියට උපදෙස් ලබා දුන්නා. මහින්ද රාජපක්ෂ මහතාට උපදෙස් ලබා දුන්නා. ඒ නීති උපදෙස් අරගෙන ගිය සියල්ලන්ම වගේ අසාර්ථක වුණා. අදත් එතුමා දෙන නීති තර්ක නිසා තමයි රටේ ඔහුව පිළිගන්නේ නැත්තේ.

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයායි, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයායි සාකච්ඡාවක් පැවැත්වීමේ කිසිම වැරැද්දක් නෑ. පසුගිය ආණ්ඩුව කාලෙ රනිල් වික්‍රමසිංහ මහත්තයා මහින්ද රාජපක්‍ෂ මහත්තයා එක්කත් සාකච්ඡා පැවැත්වුවා. රටේ ජාතික ප්‍රශ්න පිළිබඳව, ආර්ථික තත්ත්වයන් පිළිබඳව කතාකරන්න ඒ වගේ හමුවීම වැදගත්. ඒක මහා බරපතළ ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා රටට අයහපත් වන රට අස්ථාවර වන කිසිම තීන්දුවක් ගන්නේ නෑ කියන විශ්වාසය අප තුළ තියෙනවා.

ඩොලරයේ අගය වැඩිවීම සිදු වුණේ මෙහෙ විතරක් නොවෙයි. හැබැයි ඒක පාලනය කරගන්න අපි අසමත් වුණා. මේ ආණ්ඩුව විතරක් නෙවෙයි පසුගිය ආණ්ඩු සියල්ලමත් රුපියලේ අගය වැඩි කරගන්න, ඩොලරය එක මට්ටමකට තියාගන්න අසමත් වුණා. ඒකට ප්‍රධාන හේතුව තමයි අපි සියලු දේ රටින් ගෙන්වීම. අපි වෙසක් කූඩු ටිකත්, බකට් ලාම්පුවත් රටින් ගෙනාවා. එහෙම රටක් ඩොලරය පාලනය කරන්නේ කොහොමද? ඒක අතීතයේ ඉඳලම තිබුණා. 77න් පස්සේ ඒ තත්ත්වය වැඩි වුණා. එතකල් අපිට කියලා ආර්ථිකයක් සකස් වුණා.

දැන් මේවා නිවැරැදි කරලා. ඒ නිසා තමයි කෘෂිකර්ම අමාත්‍යාංශය අපිට අවශ්‍ය ආහාර ටික අපි නිෂ්පාදනය කරගන්නත් විදේශ වෙළෙඳපොළට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කරගන්නත් අපි ප්‍රමුඛතාව දීලා කටයුතු කරන්නේ.

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon