ආණ්ඩු කිරීමේ බලය දෙමළ ජනතාවටත් ලැබෙන්න ඕනෑ

  👤  3043 readers have read this article !
By mawbima 2018-10-18

ආණ්ඩු කිරීමේ බලය දෙමළ ජනතාවටත් ලැබිය යුතුයි. දෙමළ ජනතාව සමානාත්මතාවයෙන් හා ආත්මගරුත්වයෙන් යුතුව ජීවත් වෙනවාය යන්න පැවැසිය හැක්කේ එවිට බව විපක්ෂ නායක ආර්. සම්පන්දන් ප්‍රකාශ කරයි.

විපක්ෂ නායකවරයා මේ බව පැවැසුවේ මඩකළපුව නව වෙළෙඳපොළ සංකීර්ණය විවෘත කිරීම වෙනුවෙන් ඉකුත්දා පැවැති උත්සවයේදීය.

එහිදී විපක්ෂ නායකවරයා මෙසේද සඳහන් කළේය.

පැවැති ආණ්ඩුව වෙනුවට නව ආණ්ඩුවක් පිහිටුවා ගත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ අරමුණ ඇතිවයි. මේ නිසා අපට වත්මන් ආණ්ඩුව හා තරහ වී වැඩ කරන්න බැහැ.

ඉදිරියේදී ගෙන ඒමට නියමිත නව ව්‍යවස්ථාවේදී පළාත් සභා ක්‍රමය ජනතාවට සේවයක් කළ හැකි පරිදි සංශෝධන වෙනවා. පළාත් සභා මඟින් ජනතාවට විශාල සේවයක් කළ හැකි බව අප තේරුම් ගත යුතුයි. ජනතා නියෝජිතයන් උත්සාහ කළ යුත්තේ තමන්ව පත් කළ ජනතාව වෙනුවෙන් හැකිතාක් සේවය කිරීමයි.

මඩකළපුව දිස්ත්‍රික්කය එක්තරා ආකාරයකට ඉතා වැදගත් දිස්ත්‍රික්කයක් ලෙස හඳුන්වන්න පුළුවන්. දේශපාලනයේදී සෑම අවස්ථාකම බෙදීම් විරසකවීම් තිබෙන්න පුළුවන්. ඒ කවර ආකාරයක දේවල් තිබුණත්, ජනතාව වෙනුවෙන් අවංකව කටයුතු කළ යුතුයි. ජනතා සේවයේදී අපගේ දේශපාලන එදිරිවාදිකම් අමතක කිරීම අත්‍යවශ්‍ය වෙයි.

දෙමළ ජනතාව දිගු කාලයක් දැඩි අපහසුතාවන් හා පීඩාවෙන් ජීවත් වූ පිරිසක් මේ ජනතාව තවමත් සාමාන්‍ය ජීවිතයට හුරුවී නැහැ.

ඇතැම් කරුණු යම් ප්‍රගතියක් අත්කොට ගෙන තිබෙනවා. දෙමළ ජනතාව යටත් කර ගනිමින් කටයුතු කළ යුතු යැයි සිතූ ආණ්ඩුවක් වෙනස් කොටජනතාව පිළිබඳ යමක් සිතන ආණ්ඩුවක් අප පත් කර ගත්තා. නමුත් වත්මන් ආණ්ඩුවෙත් දුර්වල තැන් බොහොමයක් තිබෙනවා. එම අඩුපාඩු නිවැරදි කර ගත යුතුයි. ජනතාවට අවශ්‍ය දේ ලබාදිය යුතුයි. එය ජනතා අයිතියක්, වර්තමාන ආර්ථිකය සම්බන්ධයෙන් විවිධ විවේචන එල්ල වෙමින් තිබෙනවා. එහෙත් අපි වත්මන් ආණ්ඩුවට සහයෝගය ලබා දෙනවා. ඒ කරුණු කිහිපයක් නිසායි. වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමට අප විශාල කාර්ය භාරයක් සිදු කර තිබෙනවා.

මෙරටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකමුතු වීම මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් ලබා ගැනීම පහසු වෙනවා. එය සිදු කර ගැනීමට නම් වත්මන් ආණ්ඩුව හා තරහ වෙන්න බැහැ. එබැවින් වත්මන් ආණ්ඩුවට සහයෝගය ලබාදිය යුතු වෙනවා. එහෙත් ආණ්ඩුවේ සෑම කටයුත්තක්ම සාධාරණය කරමින් සියල්ලටම සහාය ලබා දෙන්න බැහැ.

අප ජනතාවගේ උරුමයන්ට ගරු කළ යුතුයි. ජනතා පරමාධිපත්‍ය යනු දේශපාලන බලය භාවිත කිරීමට ඇති හැකියාවයි. මේ අවස්ථාව දෙමළ ප්‍රදේශවල දෙමළ කතා කරන ජනතාවට ලැබිය යුතුයි.

ආර්ථික සංවර්ධනය අපි හරසරින් පිළිගන්නවා. එම සංවර්ධන කටයුතු ජනතා කැමැත්ත මත සිදු විය යුතුයි. අප තෝරා ගන්නා මහ ඇමැතිවරුන් මහජන නියෝජිතයන් ජනතා කැමැත්ත මත ජනතාවට සේවය කළ යුතුයි. මේ දෙය ඇතැම් අයට තේරුම් ගැනීමට නොහැකිව තිබෙනවා. මෙම කරුණු තේරුම් ගැනීමට යම් දේශපාලන ඉතිහාසයක් අවශ්‍ය වෙනවා.

අප මේ රටේ ඉතා දිගු කාලයක සිට ජීවත් වෙනවා. ඒ නිසා අපට යම් ඉතිහාසයක්, සංස්කෘතියක් තිබෙනවා. අපි ආර්ථිකමය වශයෙන් හා දේශපාලන බලාධිකාරියේ යම් වෙනසක් අපේක්ෂා කරනවා නම් ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසක් අපට අවශ්‍යයි. ආණ්ඩු බලය අපටත් ලැබිය යුතුයි.

අපගේ ඔබගේ පරමාධිපත්‍ය බලය ගරු කිරීමත් සමඟ ස්වයං නිර්ණය අයිතියටත් ගරු කළ යුතුව තිබෙනවා. දෙමළ ජනතාව සමානාත්මතාවයෙන් හා ආත්ම ගෞරවයෙන් යුතුව ජීවත් වන්නේ' යැයි පැවැසිය හැක්කේ එවිටයි.

ලක්ෂ්මී ජයකොඩි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon