ක්‍රීඩා බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් පාරමීට දුන් පොරාන්දුත් කඩකරයි

  👤  2980 readers have read this article !
By mawbima 2018-10-18

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජාත්‍යන්තර මට්ටමෙන් ලැබූ ජයග්‍රහණයන් මහත් හරසරින් සමරමින් ක්‍රීඩා අමාත්‍යංශය ඇතුළු මලල ක්‍රීඩා බලධරයන් මාධ්‍ය ඉදිරියේ පුරසාරම් දෙඩෙව්වද සත්‍ය වශයෙන්ම සිදුවන්නේ දුප්පත් මාපියන්ගේ, පුහුණුකරුවන්ගේ හා ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ගේ කැපවීම හෑල්ලුවට ලක්කරමින් එකී දස්කම් පොරොන්දු සංදර්ශනයකට පමණක් සීමා කිරීම පමණි.

ඒ බව වඩාත් තහවුරු වන්නේ පසුගියදා පැවැති යොවුන් ඔලිම්පික් උළෙලේදී මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වේදී මිනිතත්තු 6:33.06ක කාලයක් සටහන් කර ලෝකඩ පදක්කමක් දිනාගනිමින් ශ්‍රී ලංකාවට පළමු යොවුන් ඔලිම්පික් පදක්කමක් හිමිකර දුන් පාරමී වසන්තිට ලබා දුන් පොරොන්දුද මෙතෙක් ඉටුකර නොමැති බව පෙනී යන හෙයිනි.

හලාවත ධීවර ගම්මානයකින් පැමිණ මෙරට මලල ක්‍රීඩාවට නව පිටුවක් එක්කළ පාරමී වසන්තිගේ මෙම දක්‍ෂතාවය 2007 වසරේදී ජපානයේ පැවැති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී සුසන්තිකා ජයසිංහ හිමිකරගත් ලෝකඩ පදක්කමට පසුව මෙරට මලල ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක දැක්වූ ඉහළම දක්‍ෂතාවයද විය. මේ අතර මේ වසරේ ජුනි මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැති දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී රන් පදක්කම් 12ක් ඇතුළුව පදක්කම් 41ක්ද, ජපානයේ පැවැති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී රන් පදක්කම් තුනක් ඇතුළුව පදක්කම් 9ක්ද දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ට හැකි විය.

ඉන් පසුව ඔවුන් වෙත මෙරට ක්‍රීඩා බලධාරීන්ගෙන් ලැබුණු පොරොන්දු සිය දහස් ගණනක් වුවද එවැනි පොරොන්දු මාධ්‍ය සංදර්ශනයකට පමණක් සීමා වී ඇත. මා-පිය කැපකරු ක්‍රමයක් ලෙසින් පුද්ගලික ආයතන සමඟ එක්ව ක්‍රීඩක-ක්‍රීඩිකාවන් වෙනුවෙන් වසර 6ක් යන තෙක් මාසික පෝෂණ දීමනාවක් දෙන බව පසුගිය ජුලි මාසයේදී අනුග්‍රාහකයන්ද ගෙන්වා මාධ්‍ය ඉදිරියේ පුරසාරම් දෙසා බෑවද එය එක් මසකට පමණක් සීමා කිරීමද කනගාටුවට කරුණකි. තවද අධ්‍යාපන අමාත්‍යංශය විසින්ද පාසල් දරු දැරියන්ට මාසික දීමනාවක් ලබා දෙමින් ඔවුන්ගේ ක්‍රීඩාව හා අනාගතය ශක්තිමත් කිරීමට එකඟ වුවද මෙතෙක් එය පොරොන්දුවකට පමණක් සීමා වී තිබේ.

එසේම පාරමී වසන්තිට හා අරුණ දර්ශනට රජයේ මැදිහත්වීමෙන් නිවාස දෙකක් ලබාදීමට පොරොන්දු වී තිබුණද මේ දක්වා එම පොරොන්දුවද බාලගිරි දෝෂයට ලක්ව ඇති අතර, ආසියානු පදක්කමක් වෙනුවෙන් ලබාදීමට නියමිත වූ දිරි දීමනාවද කනිෂ්ඨ ක්‍රීඩකයන්ට ලබා දීම ප්‍රතික්ෂේප කර ඇත්තේ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවන් ගෙන් ලබාගන්නා පදක්කම් ආසියානු ක්‍රීඩා උළෙලකදී ලබාගන්නා පදක්කම් සමඟින් සැසඳිය නොහැකි බව පෙන්වා දෙමිනි.

මේ අතර පසුගිය යොවුන් ඔලිම්පික් උළෙලට සහභාගි වූ පාරමී ඇතුළු මලල ක්‍රීඩක-ක්‍රීඩිකාවන් සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අවසර ලබාදී නොමැති බවද වාර්තා වන අතර, ඔවුන් ක්‍රීඩා උළෙලට සහභාගි වී ඇත්තේ ජාතික ඔලිම්පික් කමිටුවේ නිර්දේශය මත පමණක් බවද දැනගන්නට ඇත. එයින් පෙනී යන්නේ මෙම ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ගේ දක්‍ෂතාවය ක්‍රීඩා අමාත්‍යාංශය හෑල්ලුවට ලක්කර තිබූ නිසා දැයි ප්‍රශ්නයක් මතුවන අතර ඉන් පෙනී යන්නේ එම ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ගේ දක්‍ෂතා අනාගතයට දායාද කිරීමට අවශ්‍ය පරිසරය සැකසීමටද ක්‍රීඩා අමාත්‍යාංශය ඇතුළු මෙරට ක්‍රීඩා බලධාරීන්ට අවශ්‍යතාවයක් නොමැති බවය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon