ශ්‍රී ලංකා ක්‍රිකට් මුදල් වංචාවට සම්බන්ධ මූල්‍ය අංශ ප්‍රධානියා අතුරුදන්

  👤  2982 readers have read this article !
By mawbima 2018-10-18

ශ්‍රී ලංකා - එංගලන්ත ක්‍රිකට් තරගාවලියට අදාළව රූපවාහිනි විකාශන අයිතිය අලෙවි කිරීම වෙනුවෙන් විදෙස් රූපවාහිනි ආයතනයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබීමට තිබූ රුපියල් කෝටි 90කට අධික මුදලක් වෙනත් විදේශීය ගිණුමකට බැර කිරීමට සූදානම් වූයේ යැයි චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආතනයේ හිටපු මූල්‍ය ප්‍රධානියා අතුරුදන්ව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

එම පුද්ගලයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් නුගේගොඩ පිහිටි ඔහුගේ නිවෙසට කිහිපවරක් ගොස් ඇති අතර එම නිවෙස වසා තිබූ බව වාර්තා වේ. එහිදී පොලිස් නිලධාරීන් අදාළ පුද්ගලයා පිළිබඳව අසල්වාසීන්ගෙන් විමසා ඇතත් ඔවුන්ද ඔහු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොදන්නා බව පවසා ඇත.

මේ අතර මෙම සිද්ධිය පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බවත් ඔහුව පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් නීතිමය සහාය ඉල්ලා ඇති බවත් දැනගන්නට ඇත.

මීට මාසයකට පමණ පෙර මෙම සිද්ධිය අනාවරණය වීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදාළ නිලධාරියාව අනිවාර්යය නිවාඩු යැවීමට පියවර ගත්තේය. එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ රූපවාහිනි විකාශන අයිතිය වෙනුවෙන් විදෙස් රූපවාහිනි ආයතනය වෙත ලැබිය යුතු සියයට 50ක මුදලක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 5.5) මේ වන විට ලැබී ඇතැයි ද වාර්තා වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon