ක්‍රිකට් ක්‍රීඩාව මාෆියාවෙන් ගලවාගන්න ඩැඩ්ස් ක්‍රිකට් තරගාවලිය යොදාගන්නවා - අර්ජුන රණතුංග

  👤  2973 readers have read this article !
By mawbima 2018-10-18

ගමිත දෙහිපිටිය

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සහ ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කළ වර්තමානයේ පියවරුන් වන ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් පළමු වරට ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන 'මයි ඩැඩ් මයි සුපර් ස්ටාර්' (ර්ර ච්චඤ ර්ර ඉභනඥපඵබචප) ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් මස 3 වැනිදා සිට 18 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ඒ අනුව වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාව වෙලාගෙන සිටින මාෆියාවෙන් ක්‍රිකට් ක්‍රීඩාව ගලවා ගැනීමේ පළමු පියවර සහ ක්‍රිකට් ක්‍රීඩාව වැටී ඇති අගාදයෙන් ගොඩගැනීමේ පළමු පියවර ලෙස මෙම තරගාවලිය සලකන බව 'මයි ඩැඩ් මයි සුපර් ස්ටාර්' තරගාවලියේ ප්‍රධාන උපදේශකවරයා වශයෙන් කටයුතු කරන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

'මයි ඩැඩ් මයි සුපර් ස්ටාර්' තරගාවලිය පිළිබද මාධ්‍ය හමුව අමතමින් මෙම අදහස් පළ කළ අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් "වර්තමානයේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණදී ඇති මාෆියාවෙන් ක්‍රිකට් ක්‍රීඩාව බේරාගැනීමේ මූලික අරමුණෙන් සහ එම කටයුත්තේ පළමු පියවර වශයෙන් මෙම තරගාවලිය හඳුන්වා දිය හැකියි. අද අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීමක් තිබෙනවා නම් ඒ ගැන අපි සියල්ලන්ටම වගකීමක් තිබෙනවා.

ඒ සියල්ල සලකා බලල තමයි අපි තීරණය කළේ ජාතික කණ්ඩායම නියෝජනය කළ සහ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ හිටපු ක්‍රීඩකයන් සම්බන්ධ කරගෙන ක්‍රීඩාවේ වටිනාකම ගැනත් තම පාසැල හෝ රට නියෝජනය කිරීමේ අභිමානය ගැනත් දරුවන් දැනුවත් කරන්නට මෙම තරගාවලිය මඟින් පණිවුඩයක් ලබා දෙන්නට. පසුගිය කාලයේ ක්‍රිකට් ක්‍රීඩකයන් මුදල ප්‍රධාන සාධකය බවට පත්කරගෙන ක්‍රීඩා කරනවා කියා චෝදනා අපට අසන්නට ලැබුණා. ඒ වගේම සමහර පරිපාලකයනුත් මුදල් පෙන්වමින් ක්‍රීඩකයන් විනාශකළා.

එහි නරක ප්‍රතිඵල අද අපි දකිනවා. ඒ නිසා මෙම තරගාවලියේදී මුදලට වඩා ක්‍රීඩාවේ අභිමානය ගැන දරුවන්ට විශේෂ පණිවුඩයක් දෙන්න අපි තීරණය කළා. ඒ වගේම අපි 'මයි ඩැඩ් මයි සුපර් ස්ටාර්' ක්‍රිකට් තරගාවලිය ගැන අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) දැනුවත් කරන්නටත් අයි.සී.සී. දූෂණ මර්දන ඒකකය දැනුවත් කරන්නටත් පියවර ගත්තා. යහපත් චේතනාවෙන් කරන මෙම කටයුත්තට අයි.සී.සීයේ පූර්ණ සහයෝගය ලැබෙනවා. මොකද ක්‍රිකට් මාෆියාව එල්ල කරන චෝදනාවලින් ගැලවෙන්න අපිට අවශ්‍යයි" යනුවෙන් ප්‍රකාශ කළේය.

මේ අතර 'මයි ඩැඩ් මයි සුපර් ස්ටාර්' ක්‍රිකට් තරගාවලිය, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ සහ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ හිටපු ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් පාසැල් 17 ක් සහ ඒකාබද්ධ පාසැල් කණ්ඩායමක් ද ඇතුළුව කණ්ඩායම් 18ක සහභාගිත්වයෙන් පැවැත්වෙන අතර එක් කාණ්ඩයකට කණ්ඩායම් 6ක් ඇතුළත්වන අයුරින් කණ්ඩායම් කාණ්ඩ 3කට වෙන් කර ඇත. ලීග් ක්‍රමයට පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වටය අවසානයේ එක් එක් කාණ්ඩවල ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 2 'සුපර් ඩැඩ්' ශූරතාවය සඳහා සුදුසුකම් ලබා ගනී.

තවද අනෙක් සියලු කණ්ඩායම් එම කාණ්ඩවල දැක්වූ දස්කම් අනුව 'චැම්පියන් ඩැඩ්ස්' සහ 'චැලෙන්ජර් ඩැඩ්ස්' ශූරතාවයන් සඳහාත් තරග වැදීමට නියමිතය. ඒ අනුව නොවැම්බර් 3 වැනිදා මූලික වටයේ තරගවලින් ආරම්භ වන මෙම තරගාවලියේ 'සුපර් ඩැඩ්', 'චැම්පියන් ඩැඩ්ස්' සහ 'චැලෙන්ජර් ඩැඩ්ස්' ශූරතාවයන් සඳහා පැවැත්වෙන අවසාන මහා තරග නොවැම්බර් 18 වැනිදා විදුලි ආලෝක ධාරා මධ්‍යයේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

කොළඹදී ඊයේ (16දා) පැවැති මෙම තරගාවලිය පිළිබද මාධ්‍ය හමුව සඳහා එම තරගාවලියේ ප්‍රධාන උපදේශක වශයෙන් කටයුතු කරන අමාත්‍ය අර්ජුන රණතුංග, තරගාවලි අධ්‍යක්ෂ රවීන්ද්‍ර පුෂ්පකුමාර, සංවිධායකයන් වන හමීර් දේසායි සහ වෙන්කටීෂ් රාවෝ යන මහත්වරුන් ද හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් ද සහභාගි විය.

ඡායාරූපය _ තාරක බස්නායක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon