ජනපති ඝාතන කුමන්ත්‍රණය රාජේන්ද්‍ර කුමාර් ලංකාවේ ජීවත් වුණේ 'රෝ' සල්ලිවලින්

  👤  3182 readers have read this article !
By mawbima 2018-10-18

ඉෂාරා සිල්වා

ජනාධිපති, හිටපු ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත් "රෝ" සංවිධානයේ සාමාජිකයකු වන ඉන්දියානු ජාතික රාජේන්ද්‍ර කුමාර් නමැත්තා 2015 වසරේ සිට දේශපාලන රැකවරණය සොයාගෙන ආ පුද්ගලයකු ලෙස ශ්‍රී ලංකාවේ ජීවත් වී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා හෙළි කරයි.

"රෝ" ඔත්තු සේවය ඔහුට ලබාදී තිබෙන හැඳුනුම්පත් අංකය ආර්.වී. 317217/වී.පේ. ලෙස සඳහන් වන බවද 2015 වසරේ සිට ඔහු මෙරට ජීවත්ව ඇත්තේ "රෝ" සංවිධානයෙන් ලබාදුන් මුදල්වලින් බවද මන්ත්‍රිවරයා අනාවරණය කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා අවස්ථා දෙකකදී මා සොයාගෙන මගේ නිවෙසට පැමිණ තිබෙනවා. නමුත් මම නිවෙසේ නොසිටීම හේතුවෙන් ඔහුව ගේට්ටුවෙන් ඇතුළට අරගෙන තිබුණේ නැහැ. නමුත් මා එනතුරු සිටින බව කියමින් ඔහු දිගින් දිගටම ගේට්ටුව අසල රැඳී සිට තිබෙනවා. ඒ වගේම අපේ කාර්යාලයටත් මාව සොයාගෙන ඇවිත් තියෙනවා. නමුත් මා නොසිටිය නිසා එතැන සිටි වෙනත් පුද්ගලයකු සමඟ කතා කරලා නැවත පිටත්ව ගිහින් තිබෙනවා" යැයිද සඳහන් කළේය.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් වහාම ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ඔහු මානසික රෝගියකු බව ප්‍රකාශ කළේ පුද්ගලයකුගේ ප්‍රකාශවල තිබෙන වලංගුභාවය නැති කිරීමට තිබෙන හොඳම උප්පරවැට්ටිය එය බව ඔවුන් දන්නා නිසා බවද මන්ත්‍රිවරයා අවධාරණය කළේය.

මෙවැනි සිදුවීම් තුළින් රෝ ඔත්තු සේවය රට තුළ අභ්‍යන්තරිකව ක්‍රියාත්මක වන බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන බවත් රෝ ඔත්තු සේවය දෙමළ ඩයස්පෝරාව හා බැඳුණු ඝාතන මෙහෙයුමක් ක්‍රියාත්මක වී තිබෙන බව මේ සියල්ල හරහා තහවුරු වන බවද ඔහු අවධාරණය කළේය.

ඊයේ (17දා) බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon