පොලිස්පති නියමයෙන් තෙබුවන සැරයන් යළි වැඩට

  👤  2952 readers have read this article !
By mawbima 2018-10-18

චාමර අමරසූරිය

අත්අඩංගුවට ගත් වැලි ලොරි රථයක් තෙබුවන පොලිසියේ ස්ථානාධිපතිවරයා මුදා හැරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් වෙඩි තබා ගැනීමට උත්සාහ දැරීමේදී අත්අඩංගුවට ගෙන තාවකාලිකව වැඩ තහනම් කරන ලද පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතා යළි සේවයේ පිහිටුවීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තීරණය කර තිබේ.
ඒ අනුව එම පොලිස් සැරයන්වරයා තෙබුවන පොලිස් ස්ථානයටම අනුයුක්ත කිරීමට පොලිස්පතිවරයා නියෝග කර ඇත.

ස්ථානාධිපතිවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය දක්වමින් ඉකුත් 03 වැනි දින මෙම සැරයන්වරයා ටී _ 56 වර්ගයේ ගිනි අවියක් රැගෙන තෙබුවන නගරයට පැමිණ වෙඩි තබා ගැනීමට උත්සාහ දැරීය.

එම උත්සාහය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ව්‍යර්ථ කරනු ලැබීය. අනතුරුව මෙම සැරයන්වරයාව අත්අඩංගුවට ගෙන මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි.

දින කිහිපයක් ඔහු රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අතර, ඔහුගේ සේවයද තාවකාලිකව අත්හිටුවීමට පොලිස් මූලස්ථානය කටයුතු කළේය.

පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතා යුද්ධය පැවැති සමයේදී එල්.ටී.ටී.ඊ. ග්‍රහණයට නතුව වසර ගණනක් වධ හිංසනයට ලක්වූ නිලධාරියෙකි.

තවද අත්අඩංගුවට ගත් අදාළ වැලි ලොරිය මුදාහැරියාට තෙබුවන පොලිසියේ ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් විශේෂ විමර්ශන ඒකකය යටතේ විමර්ශනයක් මේ වන විට ආරම්භ කර ඇත.

පොලිස් සැරයන්වරයා නැවත සේවයේ පිහිටුවීමට පොලිස්පතිවරයා පෙරේදා තීරණය කළ අතර, ජනාධිපතිවරයා සැරයන්වරයා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් ජනාධිපති මන්දිරයට කැඳවා රුපියල් දසලක්ෂයක මුදල් ප්‍රදානයක් කළ අතර ඔහුට නිවෙසක් ඉදිකර දීමටද එකඟ විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon