අල්ලස් හෝ දූෂණ විමර්ශන නිලධාරීන්ට විශේෂඥ පුහුණුවක්

  👤  1386 readers have read this article !
By mawbima 2018-10-18

දෙනගම ධම්මික රණවීර

රාජ්‍ය අංශයේ මූල්‍ය විනය පවත්වාගෙන යෑම ඇතුළු අරමුණු කිහිපයක් වෙනුවෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ ක්‍රියාකාරිත්වය ශක්තිමත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. එම කොමිසමේ නිලධාරීන්ට විශේෂඥ පුහුණුවක් ලබා දීමද එමඟින් අපේක්‍ෂා කෙරේ.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද, නිර්මුක්ති සහ බලතල ප්‍රකාශ කිරීමට හා නිර්වචනය කිරීමට කතා කිරීමේ හා විවාද කිරීමේ හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ නිදහස සුරක්‍ෂිත කිරීමට පාර්ලිමේන්තුවේ බලතල හා වරප්‍රසාද පනත සංශෝධන කිරීමට රජය තීරණය කර තිබේ.

ඉඩම් කට්ටි කිරීමේදී පරිසර පද්ධතියට සිදුවන හානි අවම කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව මාර්ගෝපදේශ පද්ධතියක් හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

උෂ්ණත්ව පාලක ගබඩා මධ්‍යස්ථාන හා ශීතාගාර පහසුකම් ජාලයක් ස්ථාපනය කිරීමට පෞද්ගලික ආයෝජන දිරිමත් කිරීමට ද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පළ වී තිබේ.
ග්‍රාමීය පාලම් හාරදහසක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ තවත් ග්‍රාමීය පාලම් 250ක් ඉදිකිරීමටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පළ වී ඇත.

2021 ජන හා නිවාස සංගණනය පැවැත්වීම සඳහා ද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පළ වී තිබේ.

ජංගම දුරකථනවල දත්ත හුවමාරු කිරීම කාර්යක්‍ෂම කිරීමට නිවාස වහලවල් මත ඇන්ටනා සවි කිරීමේ වැඩසටහනක් ඇරඹීමටද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

අධ්‍යාපන හා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ පෞද්ගලික අංශයේ දායකත්වය ක්‍රමයෙන් වර්ධනය වී ඇති නිසා රාජ්‍ය අංශයේ එම අංශ දෙකෙහි අතිරේක තනතුරු ඇති කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. රාජ්‍ය අංශයේ කාර්ය මණ්ඩල පිළිබඳ 2018 දෙවැනි කාර්තුවේ වාර්තාව සලකා බැලීමෙන් පසුව එම තීරණය ගෙන ඇත. අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල, රාජ්‍ය සතු සමාගම් ආදියෙහි දහතුන් ලක්‍ෂ හැත්තෑ දහස් අටසිය අසූපස්දෙනකු සේවය කරන බවද කියැවේ.

බීඩි කොළ ආනයනයේදී අය කරන තීරු බදු සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව 1962 අංක 19 දරන ආදායම් සංරක්‍ෂණ පනත යටතේ ප්‍රකාශයට පත් කර ඇති ගැසට් නිවේදනයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට නියමිතය.

මවුකිරි දීම ප්‍රවර්ධනය කිරීම, ආරක්‍ෂා කිරීම, අනුබල දීම සහ නම් කළ නිෂ්පාදන අලෙවි කිරීම පිළිබඳ ශ්‍රී ලංකා රීති සංග්‍රහය වෙනුවට නව පනතක් හඳුන්වාදීමේ කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබේ.
සමාදාන විනිශ්චයකරුවන් පත් කිරීමේදී මෙතෙක් පැවැති අධිකරණ කලාප දිස්ත්‍රික්ක සහ කොට්ඨාස වෙනුවට පරිපාලන දිස්ත්‍රික්ක සඳහා සමාදාන විනිශ්චයකරුවන් පත් කළ හැකි වන පරිදි අදාළ විධිවිධාන ඇතුළත් කරමින් 1978 අංක 02 දරන 45 වැනි වගන්තිය සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී ඇත.

උතුර හා නැඟෙනහිර පළාත්වල නැවත පදිංචි කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව භාවිත කරන ඉඩම් නිදහස් කිරීමට හැකිවන පරිදි පහසුකම් ප්‍රදානය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

2019 සිට 2023 දක්වා වසර පහක කාලයක් තුළ ජාතික තොරතුරු හා සයිබර් ආරක්‍ෂණය පිළිබඳ මූලෝපාය ක්‍රියාත්මක කිරීමටද කැබිනට් මණ්ඩල අනුමැතිය පළ වී ඇත.

ජේ‍යෂ්ඨ පුරවැසියන් සඳහා වන ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබේ.

2022 වන විට දැනට සිටින අවුරුදු 60ට වැඩි ජනගහන ප්‍රතිශතය 12.4% සිට 16.3% දක්වා වැඩි වෙතැයි අපේක්‍ෂා කෙරේ.

අපනයන වර්ධනය කිරීමට 2018-2020 කාලය තුළ තොරතුරු තාක්‍ෂණ කළමනාකරණයක් කිරීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. අපනයනකරුවන් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම ඉන් අපේක්‍ෂා කෙරේ.

නව ව්‍යවසායකයන් සවිබල ගැන්වීමට ව්‍යාපාරික මධ්‍යස්ථානයක් යාපනය ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 3.12ක මුදලකට නියමු යාත්‍රා දෙකක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී ඇත.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා රුපියල් මිලියන 314ක් වැය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබේ.

උතුර සහ නැඟෙනහිර පළාත්වල නිවාස විසිදහසක් ඉදිකිරීම සඳහා ඉන්දියානු රජයටත් තවත් සමාගම් දෙකකටත් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon