විශාරද අමරා රණතුංග අද දැයෙන් සමුගනී සපුමල් සුවඳක් සේ ඔබේ මතක නොමැකේ...

  👤  1444 readers have read this article !
By mawbima 2018-10-18

මෙරට සංගීත ක්ෂේත්‍රයේ ප්‍රථම මහාචාර්යවරිය වූ අමරා රණතුංග පසුගිය 15දා කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වූවාය.

මිය යන විට 79 වැනි වියේ පසු වූ ඇය රෝහල් ගතවී සිටියේ හෘදයාබාධ රෝගය හේතුවෙනි. දින කීපයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවද ඉන් නිසි සුවයක් ලබා ගැනීමට නොහැකි විණි.

අමරා රණතුංග මහත්මිය උපත ලැබුවේ 1939 අගෝස්තු 23දාය. ඒ දෝන අමරා කස්තුරිආරච්චි නමිනි. ඇයගේ උපන් ගම හංවැල්ලය.

එකොළොස් දෙනෙක් යුතු පවුලක 5 වැනියා වූ අමරා සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණ වූයේ වයස 10 දීය. ඒ ආචාර්ය ලයනල් එදිරිසිංහ හා ආනන්ද සරත් විමලසිරි යන මහත්වරුන්ගේ මැදිහත් වීම මතය.

රජයේ සංගීත විද්‍යාලයේ ආරම්භක සිසුවියක් වූ ඇය පසුකලෙක ඉන්දියාවේ ලක්නව් භාත්ඛණ්ඩ සංගීත විද්‍යාලයට ඇතුළත් වී වැඩිදුරටත් සංගීතය හැදෑරුවේය.

1964 ජනවාරි 30දා ආචාර්ය දයාරත්න රණතුංග මහතා සමඟ විවාහ දිවියට ඇතුළත් වූ ඇය මිය යන කාලය වන විට තම විවාහ දිවියේ 54 වසර සැමැරූ බවද වාර්තා වෙයි.

දයාරත්න- අමරා හඳුනා ගන්නෙත් අපූරු ආකාරයටකය.

"රාමා සීතා - රාධා ක්‍රිෂ්ණා කිසි ලෙසකින්වත් නොවෙමු අපි...
සාලිය මාලා - ගාමිණී චිත්‍රා
කිසි ලෙසකින් වත් නොවෙමු අපි....
අප පෙම හමුවේ ඔවුන් ළදරුවෝ
ආදරයේ රන් කිරි කට ගෑ......"
අමරා රණතුංග විටෙක මේ ගීතය ගැයුවේ සැබැවින්ම දයාරත්න-අමරාගේ ආදර කතාව ඒ සියල්ලටම වඩා විශිෂ්ට යැයි කියන්නට විය යුතුය.

ඔවුන් දෙදෙනා දැන හඳුනා ගත්තේ වයස අවුරුදු 10 පටන්ය. ඒ බැඳීම සංසාරගත බැඳීමක් යන සත්‍ය පසක් කරමින් විවාහ දිවියට ඇතුළත් වී මිය යන තුරුම එකට උන්නා. එමෙන්ම එකට එක්වී පවුල් සංස්ථාව පමණක් නොව සංගීත පවුල තුළද යහපත් පුරවැසියන් බවට පත්විය.

දයාරත්න-අමරා යුවළට දරුවන් තිදෙනෙකි. ඒ පුලස්ත ඉන්දිත හා නන්දිත සාරද යන පුතුන් දෙදෙනා හා කුමද්මතී දීපශිකා දියණියයි. ලේලිය සධානා රණතුංගයි. ඇය සංගීත පවුලක කුසලතා පිරි තැනැත්තියකි.

එමෙන්ම පවුලේ සියලුම දෙනා සංගීත ක්ෂේත්‍රයේ උපාධි ලැබුවෝය. වර්තමානයේදී ඔසද චමිත් සහ සතිෂ අරුන් යන මුනුබුරන්ද ගී ගයයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරියක් ලෙස අමරා ඉගැන්වීම් කටයුතු ඇරැඹුවේ 1964 වර්ෂයේදීය. එම විශ්වවිද්‍යාලයේ ගායන අංශයක් ආරම්භ කළේ ඇයගේ මඟපෙන්වීම යටතේය.

1997-2001 වසර තුළදී අමරා රණතුංග මහත්මිය ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රීය සංගීතය පිළිබඳ ආචාර්යවරියක් ලෙසද කටයුතු කර තිබිණි. ඇයට උතුරු ඉන්දීය ශාස්ත්‍රීය සංගීතය මෙන්ම ශ්‍රී ලංකාවේ ජන ගී සහ ශාන්තිකර්ම පිළිබඳවද දැනුවත් කිරීම් සිදු කරන්නට පෙරමුණ ගත්තාය.

අඩ සියවසක් භාරත සංගීතය වෙනුවෙන් කැපවූ අමරා-දයාරත්න යුවළට වරක් ඉන්දීය රජයෙන් "භාරත මිත්‍ර" සම්මානය පිරිනැමීය. ඒ ඉන්දියාවේ 55 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් පැවැති උත්සවයකදීය. මහාචාර්ය අමරා රණතුංග මහත්මිය ග්‍රන්ථකරණයට පිවිසි තැනැත්තියකි. ඇය සරස සම්භාව සෞන්දර්ය අවබෝධය, සම්භාව්‍ය සංගීතය ඒ අතර තිබිණි.

අමරා රණතුංග මෙරට සුභාවිත සංගීත රසකාමීන් වෙනුවෙන් අපූරු ගීත රාශියක් ගැයූ ගායිකාවකි.

සපුමල් සුවඳක් සේ, කාංචනා, මහ රෑ යාමේ, එක කිරුළක් පලඳින්නට බෑ, සැළලිහිණියෝ නුඹ දන්නේ නෑ. ඊයේ රෑ ඔබ සිහිනෙන් දෙඩවූ, ප්‍රේම කතාවක චරිත දෙකක්, රාධා ක්‍රිෂ්ණා වැනි ජනප්‍රිය ගීත රැසක් ඒ අතර ඇත.


දයාබර මවක්, ආදරණීය බිරියක්, දක්ෂතා පිරි සංගීත ගුරුවරියක් මෙන්ම ප්‍රතිභාපූර්ණ ගායිකාවක් ලෙස නමක් දිනා සිටි මහාචාර්ය අමරා රණතුංග අද සවස 4ට බොරැල්ල කනත්තේදී අවසන් ගමන් යන්නීය. ඇයට නිවන් සුව අත්වේවා!

සමන් ප්‍රියංකර නම්මුනිගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon