ලාංකේය සංගීත ක්‍ෂේත්‍රයට අමිල දායකත්වයක් දුන්නා විශාරද අමරා රණතුංගගේ අභාවය නිමිත්තෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් අගමැති කියයි

  👤  1378 readers have read this article !
By mawbima 2018-10-18

ගුවන් විදුලියේ ළමා පිටියෙන් සංගීත ක්‍ෂේත්‍රයට පිවිසි අමරා රණතුංග මහත්මිය, එහිදීම දැන හඳුනාගත් ප්‍රවීණ සංගීතඥ දයාරත්න රණතුංගයන් සමඟ විවාහපත්ව අඩසියවසක් ඉක්මවූ දීර්ඝ කාලයක් ජීවන යුග ගීතය ගයන අතරම ගායන ලොවේ සදානුස්මරණීය මතකයන් රන්දන ගීත රැසක් සමාජය වෙත තිළිණ කළ බව ප්‍රවීණ සංගීතවේදී මහාචාර්ය අමරා රණතුංග මහත්මියගේ අභාවය නිමිත්තෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

එම ශෝක පණිවුඩයේ මෙසේද සඳහන් වෙයි.

"නොමැරෙන යම් කෙනකු වේද ඒ නම මට හිමි" යැයි ගැයූ ඇය, භෞතිකව අප අතරින් සමුගත්ත ද, ලාංකේය සංගීත ක්‍ෂේත්‍රයට ලබාදුන් අමිල දායකත්වයත්, සොඳුරු ගීත සමුදායත් හේතුවෙන් ඒ ගැයුම යථාර්ථයක් කරමින් ඇගේ නාමය මෙරට රසික හදවත් තුළ අමරණීය වන බව නිසැකය.

ඇය නමින් අමරා රණතුංග නම් වන්නීය. ප්‍රවීණ සංගීතවේදී මහාචාර්ය අමරා රණතුංග මහත්මිය ලාංකේය සංගීත ක්‍ෂේත්‍රයේ ප්‍රථම මහාචාර්යවරියද වන්නීය. සංගීත ගුරුවරියක ලෙස ස්වකීය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඇය, පසුව කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක මෙන්ම පීඨාධිපතිනියක ලෙසද කටයුතු කර ඇත.

ලාංකේය සංගීත ක්‍ෂේත්‍රයේ අමරාදේවිය වූ අමරා රණතුංග මහත්මිය භාරතීය රාගධාරී සංගීතයත්, දක්ෂිණ භාරතීය කර්ණාටක සංගීතයත්, හෙළ සංගීත සම්ප්‍රදායන් මෙන්ම බොහෝ විදෙස් සංගීත සම්ප්‍රදායන් පිළිබඳවද හසළ දැනුමින් පිරිපුන්ව ස්වකීය ගුරු භූමිකාවද, ගායන පෞරුෂයද ඔප් නංවාගත් විශිෂ්ට කලාකාරිනියකි.

ඇයගේ අභාවය ලාංකේය සංගීත ක්‍ෂේත්‍රයට මෙන්ම සමස්ත දේශයට බරපතළ හිඩැසක් ඇති කරන බව විශේෂයෙන් සිහිපත් කරමින්, ශෝකයට පත් ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය දයාරත්න රණතුංග මහත්මා, දූ පුතුන් ඇතුළු පවුලේ සෑම සහ රසික සමාජය සමඟ මගේ බලවත් සංවේගය බෙදා හදා ගනිමි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon