පල්ලෙකැලේදීත් ලංකාව පසු බසී

  👤  722 readers have read this article !
By mawbima 2018-10-18

සිරිනාම රාජපක්‍ෂ, පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ සිට..

වර්ෂාවෙන් පැවැති බාධා නිසා පන්දුවාර 21කට සීමා වූ මහනුවර පල්ලෙකැලේදී පැවැති 3වැනි එක් දින තරගයෙන්ද එංගලන්ත කණ්ඩායමට කඩුලු 7ක ජයග්‍රහණයක් හිමි වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට මෙසේ නොකඩවා සිව්වැනි එක් දින පරාජයද හිමි වූයේ යළිත් පිතිකරුවන් වෙතින් දිස්වූ දුර්වලතා හේතුවෙනි. ශ්‍රී ලංකා පිල පළමු පන්දුවාර පහ තුළදී කිසිවකු නොදැවී ලකුණු 50ක් සටහන් කළද අවසන් පන්දුවාර 15දී ලකුණු 100ක් තුළ කඩුලු 9ක්ම බිඳ වැටුණ අතර එංගලන්තය ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු 151 පසු කළේ පන්දුවාර 18යි පන්දු 3දී කඩුලු 3ක් පමණක් වැයකරමිනි.

ඊයේ (17දා) සවස 2.00 පමණ සිට විටින් විට පැවැති වර්ෂාව නිමවීමෙන් අනතුරුව රාත්‍රී 7.45ට ක්‍රීඩාංගණය පරීක්‍ෂා කළ විනිසුරුවන් රාත්‍රී 8.15ට තරගය ආරම්භ කිරීමට තීරණය කළ අතර කාසියේ වාසිය පරාජය වීම නිසා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දික්වැල්ල හා සධීරගේ ආරම්භය ලකුණු 57ක් දක්වා ගොඩනඟා තිබියදී 6 වැනි පන්දුවාරයේ 3 වැනි පන්දුව යැවූ ටොම් කරන් ඉදිරියේ පන්දු 20කදී ලකුණු 36ක් ලබා සිටි දික්වැල්ල දැවී ගියේය.

හතරේ පහර 8ක් සමඟින් වේගවත් පිතිහරඹයක නිරත වූ දික්වැල්ල මුළු ලකුණු සංඛ්‍යාව 57ක්ව තිබියදී මිඩ් ඕෆ්හි සිටි ක්‍රිස් වෝක්ස් අතට උඩපන්දුවක් දීමෙන් දැවී ගිය පසුව පැමිණි කුසල් මෙණ්ඩිස් සුපුරුදු පරිදි මුහුණ දුන් පළමු පන්දුවේදීම බිංදුවකට දැවී ගියේ තම පළමු පන්දුවාරය යැවූ අදිල් රෂීඩ්ගේ පන්දුවක් කඩුල්ලේ දැවටීමෙනි.

ශ්‍රී ලංකා ඉනිමේ 50 වැනි ලකුණ පස්වැනි පන්දුවාරයේ 4 වැනි පන්දුවේදී වාර්තා වූ අතර ලකුණු 59ක් වන විට කඩුලු 2ක්ම දැවී යාමෙන් පසුව සධීර හා නායක චන්දිමාල් එක්ව 3 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 35ක සබඳතාවක් ගොඩනඟා සිටියදී පන්දු 34කින් ලකුණු 35ක් ලබා සිටි සධීර සමරවික්‍රම 13 වැනි පන්දුවාරයේ 3 වැනි පන්දුවේදී රෂීඩ් හමුවේ දැවී ගියේය.

රෂීඩ්ගේ ඊළඟ පන්දුවට මුහුණ දුන් තිසර පෙරේරා දැවැන්ත පහරක් එල්ල කළද ලෝන් ඕන් වෙත දිව ගිය ජේසන් රෝයි දක්ෂ උඩපන්දු රැකීමක නිරත වූයෙන් තිසර පළමු පන්දුවෙන්ම ලකුණු නොලබාම දැවී ගිය අතර 5 වැනි කඩුල්ල ලකුණු 110ක්ව තිබියදී බිඳවැටුණේ පන්දු 10කින් ලකුණු 3ක් ලබා සිටි ධනංජය සිල්වා කරන් ගේ පන්දුවකට මිඩ් ඕන්හි සිටි රෝයි අතට උඩපන්දුවක් දීමෙනි.

ඉන් පසුව පැමිණි දසුන් ශානක පන්දු 10කින් ලකුණු 21ක් ලබා චන්දිමාල් සමඟ 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 17කදී ලකුණු 28ක සබඳතාවක් තැබූ අතර 21 වැනි පන්දුවාරයේ 4 වැනි පන්දුවේදී චන්දිමාල් ලකුණු 34කට දැවී ගියේය.

පිළිතුරු ඉනිමේ ජොනී බෙයාර්ස්ටෝ හා ජේසන් රෝයිගේ ආරම්භය ලකුණු 18කට සීමා කිරීමට අමිල අපෝන්සු සමත්වූයේ මිඩ් ඕෆ්හි සිටි තිසර උඩපන්දුවක් රැකගත් නිසාය. ඉන් පසුව රෝයි සහ රූට්ගේ 2 වැනි කඩුල්ලේ සම්බන්ධය ලකුණු 16ක් වන විට රූට් ලකුණු 7කට දවා ගන්නට අමිල සමත් වූ අතර 3වැනි කඩුල්ල වෙනුවෙන් රෝයි සහ නායක මෝගන් ලකුණු 46ක් එක්කර සිටියදී රෝයි ලකුණු 41ක් ලබා සිටියදී කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගන්නට අකිල සමත් විය.

එහෙත් තම 41 වැනි එක දින අර්ධශතකයද පසුකළ මෝගන් බෙන් ස්ටොක්ස් හා එක්ව 4 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 73ක නොබිඳුණ සබඳතාවක් තබමින් තම පිල ජයග්‍රහණය කරා මෙහෙයවීය. ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් අකිල හා අමිල දස්කම් පෑවද මාලිංග පන්දුවාර 4ක් යවා ලකුණු 39ක් දී කඩුලු නැතිවම ක්‍රීඩාගාරයට ගියේය.
මේ අතර ලකුණු 36කට කඩුලු 4ක් දවා ගත් අදිල් රෂීඩ් තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon