රට පැන්න ආචාර්යවරුන්ගෙන් රුපියල් මිලියන 813ක පොල්ලක්

  👤  3304 readers have read this article !
By mawbima 2018-10-19

හර්ෂනී අර්සකුලරත්න

මෙතෙක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ලද තොරතුරු අනුව රට පුරා විශ්වවිද්‍යාලවලින් ගිවිසුම්ගතව උසස් අධ්‍යාපනය සඳහා විදෙස්ගතවූ ආචාර්ය මහාචාර්යවරු 485 දෙනකු රුපියල් මිලියන 813ක ණය මුදල් නොගෙවා පැහැර හැර ඇති බවට ගණනය කොට ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

මහජන මුදලින් ශිෂ්‍යත්ව සඳහා ලබාගත් ණය මුදල් ගෙවීම පැහැර හැර ඇති රාජ්‍ය විශ්වවිද්‍යාලවල එම ගුරුවරුන්, නිලධාරීන් සහ ඇපකරුවන්ගේ තොරතුරු මේ වන විට ප්‍රසිද්ධියට පත් කර ඇති බවද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා පැවැසීය. විටින් විට මේ සම්බන්ධව අදාළ පිරිස් දැනුවත් කළද ගිවිසුම්ගත කොන්දේසි කඩ කරමින් ඔවුන් ණය මුදල් ගෙවීම පැහැර හරිමින් සිටි බවද ඔහු පැවැසුවේය.

රුපියල් මිලියන 813ක ණය මුදල 2017.12.31 දිනට ගෙවිය යුතු ශේෂය බව පෙන්වා දුන් මහාචාර්යවරයා සඳහන් කළේ ප්‍රසිද්ධියට පත් කළ එම ලේඛනය සකසා ඇත්තේ රට පුරා එක් එක් විශ්වවිද්‍යාලවලින් ලද තොරතුරු මත පදනම්ව බවත් මෙවැනි ආචාර්ය මහාචාර්යවරුන් තවත් සිටිය හැකි බවට තමා අනුමාන කරන බවත්ය.

විශ්වවිද්‍යාලවලින් මේ පිළිබඳව ලැබෙන තොරතුරුවල ප්‍රමාදයක් පවතින බවත් මෙසේ ණය මුදල් ගෙවීම පැහැර හැර ඇති පිරිස විදේශ රටවල හෝ වෙනත් ආයතනවල ඉහළ තනතුරු දරමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.

ජනතා බදුවලින් නිදහස් අධ්‍යාපනය ලැබ නොමිලේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයද නිමා කරගත් එම පිරිස මෙසේ පැහැර හරින්නේ ජනතාව ලේ, දහඩිය, කඳුළු වගුරා උපයා ගත් මුදල් බවද සභාපතිවරයා සඳහන් කළේය. උපන් බිමට සහ මවුබිමේ ජනතාවට ද්‍රෝහියකු නොවී ගෙවිය යුතුව පවතින ණය මුදල් හා ඒ මත පොලී මුදල් ගෙවා නිදහස් වන ලෙස ණයකරුවන්ගෙන් හෝ ඇපකරුවන්ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon