මැතිවරණය වෙනුවෙන් අද කතා කරන්නේ බැසිල්ලා මෛත්‍රිලා විතරයි

  👤  3384 readers have read this article !
By mawbima 2018-10-19

පළාත් සභා ඡන්ද විමසීම අද වන විට කිසිදු හිමිකාරිත්වයක් නැති අනාථ දරුවකුගේ තත්ත්වයට පත්ව තිබෙන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක පැවැසුවේය.


පළාත් සභා කිහිපයක ඡන්ද විමසීම පැවැත්විය යුතුව ඇතත් එය දිනෙන් දින ප්‍රමාද වීමත් පළාත් සභා සීමා නිර්ණය පිළිබඳව පත්කොට ඇති සමාලෝචන කමිටුවද තවදුරටත් කාල සීමාව දිගු කරන ලෙස ඉල්ලීම ඉතා ගැටලුකාරී බවත් ඔහු සඳහන් කළේය.

පළාත් සභා ඡන්ද විමසීම තවදුරටත් ප්‍රමාද වීම පිළිබඳව, මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන ඒකාබද්ධව පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පෙරේදා (17දා) කොළඹදී ඔහු මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ගජනායක මහතා,
බැලූ බැල්මට පළාත් සභා ඡන්දය කියන්නේ කිසිදු හිමිකාරිත්වයක් නැති අභ්‍යාවකාශයේ පාවෙන ඉන්ද්‍රජාලික වස්තුවක් වගේ. පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිහඬයි. මැතිවරණ කොමිෂන් සභාවත් නිහඬයි. පාර්ලිමේන්තුවත් නිරුත්තර වෙලා තියෙනවා.

මැතිවරණ දෙපාර්තමේන්තුව හෝ දේශපාලන පක්‍ෂ අධිකරණය හමුවට ගියේ නැහැ මැතිවරණය ඉල්ලලා. නිරීක්‍ෂණ සංවිධාන විතරයි මැතිවරණ ඉල්ලා අධිකරණය හමුවට ගියේ.

අපි නිරීක්‍ෂණ සංවිධාන විදිහට මේ ගැන බලවත් අප්‍රසාදය පළ කරනවා. දැන් සමාලෝචන කමිටුව තවත් මාස දෙකක් ඉල්ලනවා මෙය සමාලෝචනය කරන්න. එය හාස්‍යජනකයි. මේ තාක්‍ෂණ කමිටු කොමිෂන් සභා උපයෝගි කර ගන්නවා. මැතිවරණය කල් දැමීම නිසා පළාත් සභා ජනතාවට කිසිදු සේවයක් ඉටු නොවන වගකීම් විරහිත පාලනයකට නතු වීමට නියමිතයි.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි
මේ අවුරුද්ද වෙනකොට පැෆරල් සංවිධානය බිහිවෙලා අවුරුදු තිහක් වෙනවා. නිරීක්‍ෂණ සංවිධාන අතර පැරණිම නිරීක්‍ෂණ සංවිධානය. මැතිවරණ ප්‍රචණ්ඩත්වයට එරෙහිව අපි අවුරුදු 30ක් ක්‍රියා කළා. අද නැවත ආපස්සට හැරිලා බැලුවහම ඉතාම බරපතළ කනගාටුවක් තියෙනවා. අවුරුදු 30කට පස්සේ නැවතත් අපිට අරගල කරන්න වෙලා තියෙනවා මේ රටේ ජනතාවට මැතිවරණ ලබා දෙන්න කියලා. මේක ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ඉතාම බරපතළ ප්‍රශ්නයක්. රටක ජනතාවට තමන් කැමැති පාලකයා තෝරා ගන්න ඉඩකඩ තිබිය යුතුයි. මේ වෙනකොට ඒ ඉඩ නැති වෙලා.

ඒ වගේම තමයි පසුගිය ආණ්ඩු සමයේ කොටස් විදිහට මැතිවරණ පැවැත්වීම ගැන අපි බරපතළ විධියට විවේචනය කළා. නමුත් දැන් මැතිවරණ නොතියා ඉන්න එක ඊට වඩා බරපතළයි.

ජනතාව වෙනුවෙන් නීති සම්පාදනය කරන පිරිස ජනතාව වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය කරන පිරිස අසමත් වෙනවා මේ රටේ ජනතාවගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඇති කරලා දෙන්න. මේකට ආණ්ඩුව ප්‍රමුඛ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරු වගකිව යුතුයි. සියලුම පක්‍ෂ නායකයන් වගකියන්න ඕන. ඔවුන් දේශපාලන වේදිකාවේ පමණයි කතා කරන්නේ. මැතිවරණ ඉක්මනින් පැවැත්වීම පිළිබඳව දැනට තියෙන තත්ත්වය හැටියට ඉදිරි මාස හයක කාලය තුළවත් මැතිවරණ පවත්වයි කියලා බලාපොරොත්තුවක් තියාගන්න බැහැ. අවාසනාවට මේකේ වගකීම ගන්න කෙනෙක් නැහැ.

ඒ වගේම අපි කියනවා මැතිවරණ සම්බන්ධයෙන් පවතින ගැටලු ස¼දහා වෙනම අධිකරණයක් හෝ විශේෂ යාන්ත්‍රණයක් අවශ්‍යයි කියලා. ඒ වගේම තමයි ජනාධිපතිවරයා සීමානිර්ණ කමිටු සමාලෝචන වාර්තාව ප්‍රකාශයට පත් නොකළහොත් නැවත වතාවක් මැතිවරණය කල් යනවා.

ඒ නිසා මේ රටේ පුරවැසියාට කාර්යභාරයක් තියෙනවා. මේ රටේ පුරවැසියා බරපතළ ලෙස මැතිවරණ ඉල්ලුවොත් ඒකට පිටුපාන්න කාටවත් බැහැ. මහජන පෙළගැස්මට එරෙහි වෙන්න පාලකයාට බැහැ.

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන්
ඒ වගේම තමයි ජනාධිපතිටත්, අගමැතිටත් අවශ්‍ය මේ රටේ මැතිවරණ නොපවත්වා ඉන්න පාර්ලිමේන්තුවේ ඉන්න විපක්‍ෂයටත්, විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ඇතුළු කණ්ඩායමටත් අවශ්‍ය වෙලා තියෙන්නේ ඒකටද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා.

ලෝකයේ කිසිදු රටක ආණ්ඩු පක්‍ෂ ඡන්දය කල් දාන්න හදනකොට ඒකට අත්වැල් ගායනා කරපු විපක්‍ෂයක් නැහැ. නමුත් අද ලංකාවේ ඒකට අත්වැල් සැපයීම කරන්නේ විපක්‍ෂ නායක සහ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායකවරයා නියෝජනය කරන දේශපාලන පක්‍ෂය.

මේ රටේ විපක්‍ෂ නායක වගේම සුමන්තිරන් මහතා හිතාගෙන ඉන්නවා නම්, මේ රටේ මිනිස්සු කවදාවත් දැකලා නැති ව්‍යවස්ථා සංශෝධනයක් වෙනුවෙන් උතුරු නැඟෙනහිර පළාත් සභා තියන්නේ නැති තත්ත්වයකට පත් කරපු එක යුක්ති සහගතයි කියලා ඔවුන් මේ රටේ විපක්‍ෂය නියෝජනය නොකරන බව අපිට අවධාරණයෙන් කියන්න වෙනවා.

ඒ වගේම කියන්න ඕනේ මේ රටේ දේශපාලන පක්‍ෂවලින් බැසිල් රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් මෛත්‍රි ගුණරත්න මහතාගේ එක්සත් ජාතික පෙරමුණ පක්‍ෂයත් විතරයි මැතිවරණය තියන්න කියලා ඒ වෙනුවෙන් කතා කරන්නේ.

ජාතික මැතිවරණ නිරීක්‍ෂණ සංවිධානයේ ජාතික සංවිධායක රසංග හරිස්චන්ද්‍ර,
පළාත් සභා මැතිවරණ ඉතිහාසයේ ඉතාම භීෂණකාරිව පැවැති 88, 89 කාලේවත් මැතිවරණ පැවැත්වීම ප්‍රමාද වුණේ නැහැ. නමුත් මේ සැඟවුණු අරමුණුත් සමඟ අපිට හිතෙනවා. ජේ.ආ්ර්. ජයවර්ධන ජනාධිපතිවරයා 1982 දී මහ මැතිවරණය කල් දාලා කුප්‍රකට ජනමත විචාරණයක් පවත්වලා වසර 6ක් මැතිවරණ නොමැතිව රටක් ගෙන ගියා වගේ තමයි මේ ආණ්ඩුවත් කටයුතු කරන්නේ.

උදයන්ති මුණසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon