තෙබුවන පොලිස් සාජන්ට වූ අසාධාරණය ගැන විපක්‍ෂය කතා කළේ නෑ

  👤  3379 readers have read this article !
By mawbima 2018-10-19

පසුගිය දිනවල තෙබුවන පොලිසියේ පොලිස් සැරයන්වරයාගේ කතාව බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ මාතෘකාවක් වෙලා තිබුණා. ඔහු වැලි ලොරිය නීත්‍යනුකූලව තමයි අත්අඩංගුවට ගෙන තිබුණේ. නමුත් ඉහළින් ආපු නියෝගයකින් අධිකරණයට ඉදිරිපත් නොකර නිදහස් කළා. අවසානයේදී පොලිස් සැරයන්වරයා වරදකරු වුණා. දරු පවුලක් අනාථ වුණා. මේ ගැන කිසිවෙක් කතා කළේ නැහැ.

හැමදේටම කෑ ගහන විපක්ෂයත් මේ සිද්ධියේදී නිහඬව සිටියා යැයි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

ඔහු මේ බව පැවැසුවේ රුපියල් ලක්ෂ 90ක වියදමින් අලව්ව මහජන ක්‍රීඩාංගණයේ ඉදිකිරීමට යෝජිත නව ක්‍රීඩාගාරයට හා කායවර්ධන මධ්‍යස්ථානයට මුල්ගල් තැබීමෙන් පසුව පැවැති උත්සවයකදීය.

එහිදී මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.

ඇමැති තනතුරු වෙනස් වන විට ඇතැම් යෝජනා පවා වෙනස් වෙනවා. නමුත් මම ඉවත්වන විට ෆයිසර් ඇමැතිතුමාගෙන් මම ඉල්ලා සිටියා ඔබතුමා කොහේ යෝජනා වෙනස් කළත් කමක් නැහැ කුරුණෑගල දිස්ත්‍රික්කයේ යෝජනා වෙනස් කරන්න එපා කියලා. කියන්න සතුටුයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක යෝජනාවක්වත් වෙනස් කරලා නැහැ.

අද ඩොලරය ඉහළ යනවා. එය නතර කරගැනීමට නම් කළ යුත්තේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගෙන්වීම නතර කිරීමයි. අපේ රටේ නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ 260ක් තිබෙනවා.

සමහර අය කියනවා. පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාම හොරු කියලා. එහෙම කියන එක හරිම අසාධාරණයි. හොරුත් ඉන්නවා. ඒ අයට චෝදනා කළාට කමක් නැහැ. කාපු මකුණයි, නොකාපු මකුණයි දෙන්නම මරා දමන එක හොඳ නැහැ. හොරකම් කළ අයයි, හොරකම් නොකරපු අය මේ දෙගොල්ලම එක ගොඩකට දමන එක හොඳ නැහැ. සභාග ආණ්ඩු ගැන මේ දිනවල කතා කරනවා. නමුත් එවැනි සාකච්ඡාවක් ජනාධිපතිතුමාවත් අපේ පක්ෂයවත් සිදු කරලා නැහැ. අපේ පක්ෂයේ නායකයා වශයෙන් ජනාධිපතිතුමා ගන්නා ලද තීන්දු තීරණ සමඟ රැඳී සිටිනවා.

නාරම්මල-රෝහිත ශ්‍රී හේමන්ත

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon