පිතිකරුවෝ කවුරුත් මේවට වගකියන්න ඕන - දික්වැල්ල

  👤  3199 readers have read this article !
By mawbima 2018-10-19

සිරිනාම රාජපක්‍ෂ. පල්ලෙකැලේ සිට..

ශ්‍රී ලංකාව හා එංලන්තය අතර පැවැත්වෙන තරග පහකින් යුත් එක් දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ලෙකැලේදී පැවැති 3වැනි එක්දින තරගයෙන්ද එංගලන්තයට කඩුලු 7ක ජයක් හිමිවීම හේතුවෙන් මේ වන විට එංගලන්ත පිල තරග 2-0ක් ලෙස ඉදිරියෙන් සිටින අතර පෙරේදා (17දා) පැවැති එම තරගයේදී ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයකට උරදුන් නිරෝෂන් දික්වැල්ල කියා සිටියේ 13වැනි පන්දුවාරයේදී තිසර පෙරේරා ලකුණු නොලබාම දැවී යාම තරගයේ හැරවුම් ලක්‍ෂ්‍යය වූ බවයි.

එම තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් එසේ අදහස් දැක්වූ දික්වැල්ල ඇසූ පැනයන්ටද පිළිතුරු දෙමින් "අපිට සාර්ථක ආරම්භයක් ලැබුණත් අවසානයේ ලකුණු 25ක 30ක අඩුවක් තිබුණා. එක් අවස්ථාවක කඩුලු 2ට 94ක් තිබුණත් එක්වරම ඒක කඩුලු 4කට 94ක් වුණා. තිසරට තවත් පන්දුවාර 5ක් 6ක් බැට් කරන්න ලැබුණා නම් අපිට ලකුණු 180ක් 190ක් ලබා ගන්න තිබුණා . තිසරගේ දැවී යෑම තමයි අපිට අවාසි වූ හැරැවුම් ලක්‍ෂ්‍යය වුණේ. තරගය පන්දුවාර 21කට සීමා වීම පැහැදිලිවම අපිට වාසියක් වුණා. මොකද අපිට වේගයෙන් ලකුණු රැස්කරන පිතිකරුවන් ගොඩක් ඉන්න නිසා පන්දුවාර 50 කට වඩා පන්දුවාර 21කට අඩු වීම ඇත්තටම වාසි සහගතයි." යනුවෙන් පැවැසීය.

එංගලන්ත නායකයා මෙම එක්දින තරගාවලියෙදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කරදරයක් වී තිබෙනවා නේදැයි ඇසූ ප්‍රශ්නයකටද පිළිතුරු දෙමින් තවදුරටත් අදහස් දැක්වු ශ්‍රී ලංකා පිලේ කඩුලු රකින්නා "ඇත්තටම ඉයන් මොගන් කියන්නෙ ඉතාමත් දක්‍ෂ පිතිකරුවෙක්. ඔහුව දවා ගන්නට අපේ සැලැසුම් තිබුණත් ඒව මේ තරගයෙදීත් පිටිය මැදදී හරියට ක්‍රියාත්මක වුණේ නැහැ. ඊළඟ තරගයේදීවත් බලමු. පරාජය ගැන කීවොත් ඒක බලන අයට වගේම අපිටත් කනගාටුවක්. පන්දුවාර 21ක තරගයකදී ලකුණු 150ක් ගහලා අපිට දිනන්න අමාරුයි. පන්දුවත් තෙතයි. නමුත් මම හිතන්නෙ පන්දුයැවීම නොවෙයි පිතිකරණයේ අඩු පාඩු නිසයි තරගය පරාජය වුණේ." යැයිද පැවැසීය.

දිනේෂ් චන්දිමාල් තරගය අවසානයේ ත්‍යාග ප්‍රදානෝත්සවයට නොපැමිණියේ ඔහුගේ ඇසේ ආබාධයක් මතු වීම හේතුවෙන් භෞතචිකිත්සක සමඟ ප්‍රතිකාර ගනිමින් සිටීම නිසා යැයි පැවැසූ දික්වැල්ල කණ්ඩායමේ තේරීම් ගැන ඇසූ ප්‍රශ්නයේදී තරමක් ආවේගශීලීව පිළිතුරු දුන්නේය "කුසල් මෙන්ඩිස් අතිරේක ක්‍රීඩකයෙක්ව සිට කණ්ඩායමට ආපු හැටි මගෙන් අහන්න එපා. හේතුව මම තේරීම් කමිටු සාමාජිකයෙක්වත් පුහුණුකරුවත් නොවෙයි"
තරගාවලියට පෙර සිටම තම කණ්ඩායමේ සූදානම හා පුහුණුවීම් සාර්ථක බවද පැවැසූ දික්වැල්ල "ප්‍රතිවාදී ක්‍රීඩකයන් දවාගැනීම් ගැන සැලසුම් අපි අධ්‍යයනය කරලා තිබෙන්නෙ. නමුත් තරගයකදී එම දේවල් හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැති එකයි ප්‍රශ්නය වෙලා තියෙන්නෙ.

වර්ෂාවෙන් බාධාවක් වෙලා පන්දුවාර අඩුවීම අපිට තරගයක් ජයග්‍රහණයක් කරන්න බලපෑමක් වෙනවා කියලා මම හිතන්නෙ නැහැ. තිබෙන අඩුපාඩු අපි හදා ගන්නෙ නැහැ කියලා කාටවත් අපිට චෝදනා කරන්න බැහැ. කලකට පසුව හොඳ ආරම්භයක් අද ලැබුණා. එහෙත් අද මැද පෙළ අසාර්ථක වුණා. මේ හැම පිතිකරුවකුම ලකුණු අතරට ආවෙ නැත්නම් හරි ප්‍රතිඵලයක් ගන්න අමාරුයි. නමුත් එළියෙ සිට බලන අයට ඕන දෙයක් කියන්න පුළුවන්. අපි ගැන ප්‍රේක්‍ෂකයන් බලාපොරොත්තු තබා ගෙන ඉන්න බව අපි දන්නවා.

අපි කවුරුවත් මැදට ගිහිල්ල පරදින්න ක්‍රීඩා කරන්නෙ නැහැ. බැරිවෙන අවස්ථා තියෙනවා. පුළුවන් වෙන අවස්ථා තියෙනවා. නමුත් ජය-පරාජය දෙකම අපි පිළිගන්න ඕන." යැයි කීය.

"මානසික තත්ත්වයෙන්වත් පුහුණුවීම්වලින්වත් කිසිම වැටීමක් සිදුවෙලා නැහැ. ඔය කියන දීර්ඝ කාලයක් තිස්සේ ලබන පරාජයන්ගෙන් මිදෙන්න තමයි අපිත් උත්සාහ කරන්නෙ. බලමු ඉදිරියේදී ඒ ගැන මොකක්ද කරන්න පුළුවන් කියලා. ඇත්ත, මම ගැන මම සතුටු වෙන්නෙ නැහැ.

 

මමත් බොහෝ වෙලාවට තරගවලදී ලකුණු 30-40 ගත්තත් තරග 6කට 7කට එකකදි තමයි ලකුණු 50ක් ඉක්මවා යන්නෙ. ඒ නිසා එක් දින තරගවලදී සාර්ථක ආරම්භ ලබා ගත්තත් ඒක ලොකු ලකුණු ප්‍රමාණයක් දක්වා වර්ධනය කරගන්න මම අසාර්ථක වෙලා තිබෙනවා. ඒ ගැන පුහුණුකරුවන් එක්කත් කතා කරලා ඒ අඩුඅපාඩුව හදාගන්න කටයුතු කරනවා. මනෝ වෛද්‍ය පිල් ජොන්සිගේ සේවයත් තවදුරටත් ලැබෙනවා." ඇසූ පැනයන්ට පිළිතුරු දෙමින් තවදුරටත් පැවැසීය.

මේ අතර සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තීරණාත්මක සිවුවැනි එක්දින තරගය හෙට (20දා) මෙම ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතය.

ඡායාරූපය - වෙනුර චන්ද්‍රමාලිත

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon