පුහුණුකරුවෝ තවදුරටත් කුසල්ව රැකගැනීමේ උත්සාහයක

  👤  3215 readers have read this article !
By mawbima 2018-10-19

ගමිත දෙහිපිටිය

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පෙරේදා නිමා වූ තුන්වැනි එක්දින තරගයේදී ද කිසිදු ලකුණක් ලබා ගැනීමට පෙර පළමු පන්දුවෙන්ම දැවී ගිය ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පිතිකරණ තුරුම්පුවක් ලෙස පසුගිය කාලයේ හැඳින්වූ කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව මේ දිනවල ක්‍රිකට් ක්‍රීඩාව පිළිබද උනන්දුවක් දක්වන සැමගේ කතාබහට ලක්වී ඇති මාතෘකාවක් බවට පත්ව තිබේ.

ඒ අනුව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති එම එක්දින තරගයේදී ද ලකුණු 57ක සාර්ථක ආරම්භක සම්බන්ධතාවයකින් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක 3 පිතිකරු ලෙසින් කුසල් මෙන්ඩිස් පිටියට පිවිසි නමුත් ඔහු මුහුණ දුන් පළමු පන්දුවෙන්ම (අදිල් රෂීඩ්ගේ පළමු පන්දු වාරයේ දෙවැනි පන්දුවට) කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේ නොකඩවා එක්දින තරග 3කදී කිසිදු ලකුණක් ලබා නොගෙන දැවී ගිය තුන්වැනි අවස්ථාව ද සටහන් කරමිනි.

කෙසේ වෙතත් කුසල් මෙන්ඩිස් දක්ෂ පිතිකරුවකු බව ඔහු ක්‍රීඩා කළ අමතක නොවන ඉනිම් කිහිපය සාක්ෂි දැරුවද මේ දිනවල පෙන්වන දුර්වල ක්‍රීඩා විලාසයෙන් ගොඩ ඒමට ඔහුට සහයෝගය ලබා දෙමින් කටයුතු නොකළහොත් ඔහුගේ ක්‍රිකට් අනාගතයද ප්‍රශ්නාර්ථයක් වීමට ඉඩ තිබේ. එහෙයින් අනාගතයට වැඩදායී ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ඔහුගෙන් විදහා දැක්වෙන ක්‍රීඩා ශෛලීය හේතුවෙන් ඔහුව තවදුරටත් රැකගැනීමට පුහුණුකරුවන් දැඩි උත්සාහයක නිරත වී ඇත්තේ මෙවැනි ක්‍රීඩකයන්ට අවශ්‍ය ප්‍රතිකර්ම ලබා දී එම ක්‍රීඩකයා යළිත් සුපුරුදු දක්‍ෂතා අතරට ගෙන ඒමේ වගකීම ඔවුන් (පුහුණුකරුවන්ට) මත පැටවී ඇති බැවිනි.

අනාගතයේදී ශ්‍රී ලංකාව ජයග්‍රහණ කරා ගෙන යෑමට හැකියාව ඇති මෙවන් ක්‍රීඩකයන් මුහුණදී ඇති ගැටලුවලට විසඳුම් ලබා දෙමින් එවන් ක්‍රීඩකයන් රැක ගැනීමට කටයුතු කිරීම බලධාරීන්ගේ වගකීමකි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon