සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමට අල්ලස් කොමිසම නිසි ලෙස ඉදිරිපත් නොවීම කනගාටුදායකයි -කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න

  👤  3192 readers have read this article !
By mawbima 2018-10-19

කේ.එස්. උදයකුමාර්

අල්ලස් නඩුවල සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා අල්ලස් කොමිසම නිසි පරිදි ඉදිරිපත් නොවීම දැඩි කනගාටුදායක තත්ත්වයක් බව කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය පෙරේදා (17දා) විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළාය.

අල්ලස් නඩුවක සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටි සපුගස්කන්ද පොලිසියේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුගත් රොෂාන් සංජීව සහ අල්ලස් කොමිසමේ වැටලීම් අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන උප පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ යන නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබූ වරෙන්තු ආපසු කැඳවමින් මහාධිකරණ විනිසුරුවරිය මෙම ප්‍රකාශය කළාය.

ඉකුත් දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ එම සාක්ෂිකාර නිලධාරින් දෙදෙනා ඊයේ දින අධිකරණය හමුවේ පෙනී සිටියත් ඔවුන් වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා අල්ලස් කොමිසමෙන් නීතිඥවරයකු පෙනී නොසිටි අතර ඔවුහු පෞද්ගලිකව නීතිඥවරයකු මාර්ගයෙන් කරුණු ඉදිරිපත් කළහ.

එම නිලධාරීන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශවීන්ද්‍ර රුද්‍රිගු මහතා කරුණු දක්වමින්, පොලිස් පරීක්ෂක සුගත් රොෂාන් සංජීව නමැති නිලධාරියාගේ බිරිය සහ දියණිය ඝාතනය කිරීම පිළිබඳව නඩුවකට අනුරාධපුර මහාධිකරණය හමුවේ පෙනී සිටීම හේතුවෙන් මෙම නිලධාරියා ඉකුත් දින අධිකරණය හමුවට නොපැමිණි බව දන්වා සිටියේය. එමෙන්ම අල්ලස් කොමිසමේ වැටලීම් අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන උප පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ නමැති නිලධාරියා ඉකුත් නඩු දිනයේ අල්ලස් ලබා ගැනීමේ සිද්ධියට අදාළව පශු සම්පත් මණ්ඩලයේ සභාපතිවරයා අත්අඩංගුවට ගැනීමේ වැටලීමට සහභාගි වූ බැවින් ඔහුට අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි වූ බවද නීතිඥ රුද්‍රිගු මහතා දැන්වීය.

මේ පිළිබඳව එම නිලධාරීන් දෙදෙනා අල්ලස් කොමිසම දැනුවත් කර තිබියදීත් ඒ ගැන අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය දැනුවත් නොකිරීම කනගාටුදායක තත්ත්වයක් යැයිද සාක්ෂිකාර පොලිස් නිලධාරීන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශවීන්ද්‍ර රුද්‍රිගු මහතා ප්‍රකාශ කළ අතර තම සේවාදායකයන් වෙනුවෙන් නිකුත් කර ඇති වරෙන්තු ආපසු කැඳවන ලෙසද ඉල්ලා සිටියේය.

මෙම කරුණු සලකා බැලූ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය, අල්ලස් නඩුවල සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම එම කොමිසමේ ප්‍රධාන කාර්යයක් වුවද එම කාර්යය අල්ලස් කොමිසම විසින් ඉටු නොකිරීම පිළිබඳව අධිකරණය දැඩි සේ කනගාටුවට පත් වන බව සඳහන් කළාය.

ඒ අනුව අදාළ නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබූ වරෙන්තු ආපසු කැඳවීමට නියෝග කළ විනිසුරුවරිය වැඩිදුර විභාගය ලබන මස 03 වැනිදා දක්වා කල් තැබුවාය.

සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ සුගත් රොෂාන් සංජීව මහතාට රුපියල් ලක්ෂ 15ක අල්ලස් දීමට තැත් කළේ යැයි විත්තිකරුවකුට එරෙහිව ගොනුකර ඇති අල්ලස් නඩුවක් කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කෙරිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon