රෝගී කතකට ලිංගික අතවරයක් කළ චීන කටු චිකිත්සක විශේෂඥ වෛද්‍යවරයකුට අත්හිටුවූ සිරදඬුවමක්

  👤  3233 readers have read this article !
By mawbima 2018-10-19

කේ. එස්. උදයකුමාර්

ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි කාන්තාවකට ලිංගික අතවරයක් සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගත් චීන කටු චිකිත්සක විශේෂඥ වෛද්‍යවරයකුට කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය විසින් වසර 25කට අත්හිටුවූ බරපතළ වැඩසහිත වසර 2ක සිරදඬුවම් නියම කළාය.

ඊට අමතරව අතවරයට පත් කාන්තාවට රුපියල් ලක්ෂ 2ක වන්දියක් ගෙවන ලෙසද විත්තිකරුට නියෝග කළ විනිසුරුවරිය ඉදිරි කාලයේ යහපත් වෘත්තිකයකු වශයෙන් සමාජයේ ජීවත් වීමට පියවර ගන්නා ලෙසද විත්තිකරුට තරයේ අවවාද කළාය.

එමෙන්ම විත්තිකරුට රුපියල් 25,000ක දඩයක්ද නියම කෙරිණි.

මෙම විත්තිකාර වෛද්‍යවරයා 2006 වසරේ මැයි මස 17 වැනිදා කළුබෝවිල රෝහලට අනුයුක්තව සේවය කළ අවස්ථාවේදී ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි කාන්තාවක පරීක්ෂා කිරීමේ මුවාවෙන් මෙම අපරාධය සිදුකර ඇති බව නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ ගොනුකළ අධිචෝදනා පත්‍රයේ සඳහන් විය.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් වසර 12කට පමණ පෙර සිදු වූ මෙම අපරාධය සම්බන්ධයෙන් විත්තිකරු දැඩි පසුතැවිල්ලකට ලක්ව ඇති බවත් නඩු විභාගයකට නොගොස් වරද පිළිගැනීමට ඔහු ඉදිරිපත් වී ඇති හෙයින් විත්තිකරුට ලිහිල් දඬුවමක් නියම කරන ලෙස ඉල්ලා සිටියේය.

අධිකරණයේ කාලය වැය නොකොට වරද පිළිගෙන නඩුව අවසන් කිරීමට විත්තිකරු ඉදිරිපත් වී සිටින හෙයින් අධිකරණයේ අභිමතය පරිදි සුදුසු දඬුවමක් නියම කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින රජයේ නීතිඥ ෂවේන්ද්‍ර වික්‍රම මහතා අධිකරණයට දැන්විය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු ජානකී රාජරත්න මහත්මිය අනතුරුව විත්තිකරුට එරෙහිව මෙම දඬුවම් ප්‍රකාශයට පත් කළ අතර ඉදිරි කාලයේ යහපත් වෘත්තිකයකු ලෙස දිවි ගෙවන ලෙසද තරයේ අවවාද කළාය.

විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයේ පෙනී සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon