මසකට ලක්ෂ 23ක් කුලී ගෙවන පර්පචුවල් ට්‍රෙෂරීස් කාර්යාල පරිශ්‍රය අලුත් තැනකට ගෙනයෑමට අවසර ඉල්ලයි ලබන 25 වැනිදා මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්

  👤  3160 readers have read this article !
By mawbima 2018-10-19

අමිල අබේරත්න

ශ්‍රී ලංකා මහ බැංකු ගනුදෙනු හරහා අක්‍රමිකතා සිදුකර රජයට මූල්‍යමය පාඩු කළ බව කියන සිද්ධියේ සැකකරුවකු වන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් තම කාර්යාල පරිශ්‍රය නව ස්ථානයක ස්ථානගත කිරීම සඳහා අවසර ලබාදෙන ලෙසට පෙරේදා (17දා) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම මේ වන විට ස්ථානගත කර ඇති කොළඹ පාර්ක්ලන්ඩ් ගොඩනැඟිල්ලේ පිහිටි පරිශ්‍රයට මසකට ලක්ෂ 23ක මුදලක් කුලී වශයෙන් ගෙවන බවද එම කුලිය මින් ඉදිරියට ගෙවීමට හැකියාවක් නොමැති වීම මත අදාළ ස්ථානය මාරු කිරීමට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ කළමනාකාරීත්වය තීරණය කර ඇති බවද සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සජිත ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කෙළේය.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ නිශ්චල දේපළ, වත්කම්, සමාගමේ කොටස් බැහැර කිරීම, විකිණීම, ආයෝජනය කිරීම සහ හුවමාරු කිරීම අධිකරණය මඟින් මේ වන විට තහනම් කර ඇති නිසා කාර්යාල පරිශ්‍රය නව ස්ථානයක ස්ථානගත කිරීම සඳහා අධිකරණය මඟින් අවසර ඉල්ලා සිටින බවද නීතිඥ සජිත ජයවර්ධන ප්‍රකාශ කර සිටියේය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය දන්වා සිටියේ නඩුවේ ඉදිරි දිනය වන මේ මස 25 වැනිදා ඉල්ලීම සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් ලබාදෙන බවය.

විත්ති පාර්ශ්වයේ ඉල්ලීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කරුණු දැක්වීමක් තිබේ නම් ඒ පිළිබඳව ඉදිරි දින කරුණු දැන්විය යුතු බවද මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දන්වා සිටියාය.

විත්ති පාර්ශ්වය වන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් නීතිඥ සජිත ජයවර්ධන, නීතිඥ අරවින්ද ගමගේ ඇතුළු නීතිඥවරුන් පිරිසක් පෙනී සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon