හිටපු හමුදාපතිවරයාට ලක්ෂ 30ක වන්දියක් ගෙවීමට ස්වාධීන රූපවාහිනියට නියෝග

  👤  3462 readers have read this article !
By mawbima 2018-10-19

මාලබේ - රාජිකා රණසිංහ

පසුගිය එල්ටීටීඊ ත්‍රස්තවාදී යුද සමයේ හමුදා ක්‍රියාන්විතයන්ට අදාළව එවකට යුද හමුදාපතිවරයාව සිටි සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කිහිපයක් අයි.ටී.එන්. (ස්වාධීන රූපවාහිනි සේවය මඟින්) විකාශනය කිරීමෙන් ප්‍රේක්ෂක ජනතාව අතර වැරැදි ආකල්ප හැඟීම් ඇතිවීමෙන් බරපතළ ලෙස තමාගේ කීර්තිනාමයට අගතියක් සිදුව ඇතැයි, කඩුවෙල දිසා අධිකරණය හමුවේ පවරා තිබූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ දිසා විනිසුරු අරවින්ද පෙරේරා මහතා ඒ වෙනුවෙන් පැමිණිලිකාර සරත් ෆොන්සේකා මහතාට රුපියල් ලක්ෂ 30ක වන්දියක් ගෙවීමට නියම කරමින් ඉන් රුපියල් ලක්ෂ 20ක මුදලක් ඔහුට රූපවාහිනි ගුවන් විකාශන කාලයක් සඳහා යොදා ගැනීමට වගඋත්තරකාර අයි.ටී.එන්. ආයතනයට නියෝග කෙරිණි.

තලවතුගොඩ, වැලිපාර, පුබුදු පෙදෙසේ 461/08 දරන ස්ථානයේ ගාර්දි හේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ මෙම පෙත්සමට අදාළ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ ජයවඩනගම පිහිටි ස්වාධීන රූපවාහිනී සේවා ආයතනය හා එම ආයතනයේ මහින්ද අබේසුන්දර යන අයයි.

පෞද්ගලික නීතිඥ සමාගමක් හරහා මෙම පැමිණිල්ල ගොනු කර තිබිණි.

පැමිණිලිකාර සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් සමරරත්න ඇසෝසියේටඩ් නීතිඥ සමාගමේ උපදෙස් පිට පෙනී සිටි නීතිඥ එරංග පෙරේරා මහතා අධිකරණයට පෙන්වා දී තිබුණේ පසුගිය එල්ටීටීඊ යුද සමයේ හමුදා ක්‍රියාන්විතයන්ට අදාළව අසත්‍ය ප්‍රකාශ කිහිපයක් අයි.ටී.එන්. රූපවාහිනි සේවාව හරහා විකාශනය වීම හේතුවෙන් එම දර්ශන නරඹා, අසා ප්‍රේක්ෂක ජනතාව අතර වැරැදි අවබෝධයක්, හැඟීම් ඇති වීමට හේතුවක් වී ඇති බවයි.

එම ප්‍රකාශ අතර යුද්ධයේ අවසාන සටන් අවස්ථාවේ චීනය වෙත යෑම මඟින් ඔහු සටන මඟහැර ඇත. අවසාන සටන මෙහෙයවීමේ යුද ක්‍රියාන්විතය තුළ ප්‍රභාකරන් ඝාතනය වීමට ඇති ඉඩකඩ අහුරා ඔහුට පැන යෑමට ඉඩ සලසන්නේය. අවසන් සටන අවස්ථාවේ තම සේවාදායකයා සිටියේ නම් ප්‍රභාකරන් ඝාතනය කළ රණවිරුවන්ට දඬුවම් පමුණුවන්නේය යන හැඟීම් ජනතාව තුළ ඇති වූ බවද පැමිණිල්ල මඟින් පෙන්වා දී තිබිණි.

සියලු කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරයා පැමිණිලිකරුට සිදුව ඇති අසාධාරණය වෙනුවෙන් වගඋත්තරකාර ආයතනය මඟින් ගෙවීමට අධිකරණය නියම කළ රුපියල් ලක්ෂ 30ක මුදල අතරින් රුපියල් ලක්ෂ 10ක මුදලක් නියමිත කාල සීමාවක් ඇතුළත දෙපාර්ශ්වයේ එකඟත්වය ඇතිව ගෙවීමට අයි.ටී.එන්. ආයතනයට නියෝග කරන ලදී.

පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ එරංග පෙරේරා මහතාද වගඋත්තරකාර ආයතනය වෙනුවෙන් නීතිඥ අංජන දිනේශ් මහතා සමඟ නීතිඥ දිල්ශාන් පතිරණ මහතාද පෙනී සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon